විල්පත්තුව: අවතැන් ජනතාවගේ ඉඩම් 'නැවත ලබාදෙන්න'

ජාතික වනෝද්‍යානවල අනවසර යළි පදිංචි කිරීම් වැළැක්වීම සඳහා ආරක්ෂක හමුදා විසින් අත් පත් කරගෙන සිටින අවතැන් වූ ජනතාවට අයත් ඉඩම් එම ජනතාවටම ලබා දීමේ අවශ්‍යතාවය පරිසර සංවිධාන අවධාරණය කරති.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට සිය පාරම්පරික ඉඩම් නැවත ලබා නොදීම හේතුවෙන් බරපතල පාරිසරික ගැටළු ගණනාවක් පැන නැගී තිබෙන බවද එම සංවිධාන පවසති.

පරිසර සංවිධාන ඒ යෝජනාව කරන්නේ, යුද්ධය හේතුවෙන් සිය ගම්බිම් හැරගොස් පුත්තලමේ ජිවත් වූ මන්නාරම මොල්ලිකුලම ගම්වැසියනට යුද්ධය නිමා වී වසර හයක් ඉක්ම ගියත් මේ වන තෙක් සිය පාරම්පරික ඉඩම් යළි ලබා නොදීම නිසා ඇති වී තිබෙන අර්බුදයට විසඳුමක් වශයෙන්.

සාක්ෂි

කල් ආරු වනාන්තරයේ අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සහ විල්පත්තු උතුරු අභය භුමියේ කොටසක සිදුවෙමින් පවතින නැවත පදිංචි කිරීම්වලින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව ඉකුත් සතියේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල අවධානයට ලක් වී පැවතින.

යුද්ධය හේතුවෙන් ගම්වැසියන්ට සිය උපන් ගම් බිම් හැර යාමට සිදුවීම නිසා මේ තත්වය උදා වී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධය හේතුවෙන් ගම්වැසියන්ට සිය උපන් ගම් බිම් හැර යාමට සිදුවීම නිසා මේ තත්වය උදා වී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

ඒ පිළිබඳව සොයා බැලීම පිණිස ජනතා විමුක්ති පෙරමුණ, පරිසර සංවිධාන සහ මාධ්‍යවේදීන් සෙනසුරාදා විල්පත්තු උතුරු අභය භූමියේ සංචාරයක යෙදුන අවස්ථාවේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එහි පැමිණ සිටියහ.

පැමිණි සිටි නිරීක්ෂකයන් ඇමතූ අමාත්‍යවරයා, නිලධාරීන් සහ ගම්වැසියන් පෙන්වා දුන්නේ යුද්ධය හේතුවෙන් සිය උපන් ගම් බිම් හැර යාමට සිදුවීම නිසා මේ තත්වය උදා වී තිබෙන බවයි.

ප්‍රදේශයේ පවතින පැරණි මුස්ලිම් දේවස්ථානයක් හා වාරි පද්ධතිය ඔවුන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ සාක්ෂි බවද ඔවුහු සඳහන් කළහ.

තහනම් නියෝගයක්

අවතැන් වූ ජනතාවට හිමිව තිබු ඉඩම් මේ වන විට නාවික හමුදාව අත් පත් කරගෙන සිටීම හේතුවෙන්, ජනතාවට විකල්ප ඉඩම් ලබා දීම පාරසරික ගැටළු රැසකට හේතු වී තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

අවතැන් ජනතාව පදිංචි කිරීමේදී ඇතිවී තිබෙන ගැටළු සොයා බලා සත්‍යය දැනගැනීමට එම චාරිකාව සංවිධානය කළ බවයි, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී කේඩී ලාල් කාන්ත රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අමතමින් කියා සිටියේ.

අවතැන් වූ ජනතාව එහි පදිංචි කිරීම පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු බවද ලාල් කාන්ත පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විල්පත්තු වන උද්‍යානය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා නිවේදනය කළේය.