19 සංශෝධනය: 'ජනපති තෘප්තිමත්'

ඡායාරූප මූලාශ්‍රය,
සංශෝධන සහිතව හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාම තෘප්තිමත් බව ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි.
'ප්‍රජාතන්ත්‍රවාදී, ශීලාචාර සහ මානව අභිලාෂයන්ට ගරු කරන' සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ජනාධිපතිවරයා වටහාගෙන සිටින බවයි ශිරාල් ලක්තිලක බීබීසී සංදේශයට කියා සිටියේ.
නව සංශෝධනය යටතේ පිහිටවෙන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් අපක්ෂය අවසාන මොහොතේ ඉදිරිපත් කළ සංශෝධනය හේතුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත නොවීමේ අවදානමක්ද මතු වී තිබුණි.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් හත් දෙනකු මන්ත්‍රීවරුන් විය යුතු බවට අවසානයේ දෙපාර්ශවය එකඟත්වයකට පැමිණියහ.
මැතිවරණ ක්‍රමය
'සම්මත නොවීමට තිබූ' සංශෝධනයක් සම්මත කරගැනීම පිණිස බොහෝ කැපකිරීමේ කිරීමට සිදු වූ බවයි, ශිරාල් ලක්තිලක අවධාරණය කරන්නේ.

"මම හිතන්නේ ජනාධිපතිතුමා මේ පිළිබඳව ඉතාම පැහැදිලි තෘප්තිමත්භාවයකින් ඉන්නේ. මේ එක පියවරක්. තව පියවර දහසක් ඉදිරියට තැබීමට ඔහු බලාපොරොත්තු වෙනවා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
කෙසේ නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව තමන් තෘප්තිමත් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.
සමස්ත ක්‍රියාවලිය සිදු වූ ආකාරය පිළිබඳව තමන් ඇතුළු සියලු දෙනාම පාහේ තෘප්තිමත් නොමැති නමුත් සංශෝධනය දියත් කිරීමට සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සීමා මායිම් යටතේ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් බැවින් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තිබෙන ජනතා වරම අහිමි වන බවට එක්සත් ජාතික පක්ෂය මතු කරන තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ ශිරාල් ලක්තිලක කියා සිටියේ වඩා හරයාත්මක වන්නේ ලබා දුන් පොරොන්දු ඉටුකිරීමද, නොඑසේනම් කාල වකවානු මත ක්‍රියා කිරීමද යන ප්‍රශ්නය එහිදී මතු වන බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ජනාධිපතිවරයාගේ අභිලාශය බවද ලේකම්වරයා පවසයි.
20 වැනි සංශෝධනයේ මූලික පිටපත් ජනාධිපතිවරයා විසින් බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත් ඔහු සඳහන් කළේය.








