සිඩ්නි සටනට සැරසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර බදාදා ආරම්භ වීමට නියමිත පළමු අර්ධ අවසාන පූර්ව තරඟය සඳහා පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සහභාගී කර ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය බලාපොරොත්තු පළ කරයි.
සභාපතිවරයා එම ප්‍රකාශය කළේ ඕස්ට්‍රේලියාවේ සිට බීබීසී සන්දේශය සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී.
එම තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී.
ක්‍රීඩා තරඟයක දී තුවාල ලද රංගන හේරත් පසුගිය තරඟ කීපයකට සහභාගී නොවූ නමුත් ඔහු දකුණු අප්‍රිකාවත් සමඟ පැවැත්වෙන මී ළඟ තරඟය සඳහා මේ වන විට බලාපොරොත්තු තැබිය හැකි තත්වයක පසු වෙන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
‘රංගන ගේ තුවාලවලට දමා තිබුන මැහුම් ඉවත් කරලා තියෙන්නේ. ඔහු අද පුහුණු වීම් කටයුතු වලට සහභාගී වුනා. හෙට තමයි ඔහු පන්දු යවන දවස. ඔහු බදාදා තරඟයට සූදානම් කර ගත හැකි තත්වයක් තමයි දැනට තියෙන්නේ’ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.
දකුණු අප්‍රිකානු අභියෝගය
බදාදා පැවැත්වෙන ප්‍රබල ක්‍රිකට් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සනත් ජයසූරිය කියා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා පිටියේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක ශූරතා තරඟාවලියේ දී ළකුණු අතර පසු වීම සම්බන්ධයෙන් විමසීමක් කළ විට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා කියා සිටියේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන එලෙසින්ම අවධානය යොමු කරමින් සිටිනවා විය හැකි බවයි.
‘හැම කණ්ඩායමකම අභියෝගාත්මක ක්‍රීඩකයන් ඉන්නවා. මම හිතනවා - දකුණු අප්‍රිකානු කණ්ඩායම අපේ ක්‍රීඩකයන්ගෙන් එල්ල විය හැකි අභියෝගය ගැන කතා කරනවා ඇති කියල’ සනත් ජයසූරිය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
සංගා සහ මහේල
බදාදා සිඩ්නි නගරයේ පැවැත්වෙන පළමු අර්ධ අවසාන පූර්ව තරඟය සඳහා සහභාගී කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කෙරෙන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න බීබීසී සංදේශයට කතා කරන මොහොත වන විට තෝරා අවසන් කර නොමැති බවයි සනත් ජයසූරිය එම සාකච්ඡාවේදී සඳහන් කළේ.
එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර සිටින කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා තවත් කාලයක් එක් දින ක්‍රිකට් පිටියේ ද රැඳී සිටීම තමාගේ උවමනාව යයි සඳහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, එහෙත් එය එම ක්‍රීඩකයන් දෙදෙනාගේ පෞද්ගලික අභිලාෂයන් මත රඳා පවතින්නක් බවත් පෙන්වා දුන්නේය.