උතුරේත් දකුණේත් ‘ප්‍රශ්න දෙකක් නොවේ, එකක්’

බිඳුණු තල් වැට පාමුල මිනිසුන්ගේ මානුෂීය කම්පනයන්ට ඇහුන්කන් දීම සිය අරමුණ වූ බව යාපනයේ පසුගියදා සංචාරය කළ තරුණ ජනමාධ්‍යවේදීන් පිරිසක් පවසති.

උතුරු සහ නැගෙනහිර පළාතේ ගැට‍ළු පිළිබඳ විග්‍රහ දකුණෙන් බොහෝ විට අසන්ට ලැබේ.

උතුරේ ගැට‍ළු හඳුනා ගැනීමේ අරමුණින් දකුණේ තරුණ ජනමාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා උතුර බලා දුම්රියෙන් ගමන් ගත්හ.

කිසියම් සංවිධානයක හෝ ආයතනයක මැදිහත් වීමකින් තොරව තමා විසින් උපයා සපයා ගත් මුදල් යොදා ගෙන ස්වේච්ඡාවෙන් සඳහා එක් වූ ඔවුහු යාපනයේදී උතුරේ තරුණ මාධ්‍යවේදීන් හමු වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Gathare Gamage

කොළඹ පදනම් කර ගත් මෙම තරුණ ජනමාධ්‍යවේදීන් යුද්ධයේ කටුකත්වය මව් කුසේ සිට හැඳි ගත් පරපුරට අයත් වෙති.

ජාතික ප්‍රශ්නය හැරුණු කොට සමාජීය, දේශපාලනික සහ ආර්ථික ගැට‍ළුවලට උතුරේ ජනතාව මුහුණ දී සිටින බව කොළඹ පදනම් කර ගත් තරුණ මාධ්‍යවේදියකු වන බිඟුන් මේනක ගමගේ කියා සිටියේ බීබීසීයේ සුනෙත් පෙරේරා සමග සාකච්ඡාවකට එක් වෙමින්.

‘හැබැයි මේ ප්‍රශ්න ටික දකුණට හරියට සන්නිවේදනය වෙන්නේ නැහැ. සන්නිවේදනය වුනත් එක ජාතික ගැටලුවට අදාළ කාරණා සමග පටලවාගෙන ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබෙන්නෙ නැහැ’ ඔහු පැවසීය.

එවැනි තත්වයක් යටතේ ජනමාධ්‍යවේදීන් වශයෙන් උතුර බලා යෑමට කටයුතු කළ බවයි යාපනය බලා ගිය ඔහු සඳහන් කළේ.

‘ඔවුන්ගේ සහ අපේ ප්‍රශ්න දෙකක් නෙවෙයි. සාමාන්‍ය මිනිසුන් විදිහට ඔවුන් පෙළෙන සමාජ ආර්ථික අර්බුදයන් අපිටත් තියන ප්‍රශ්න කියලා දකුණට සන්නිවේදනය කිරීම තමයි අපේ අරමුණ වුනේ’ බිඟුන් මේනක කියා සිටියේය.

යාපනයේ සංචාරයෙන් පසු උතුරේ ජනමාධ්‍යවේදීන් සමග පාලමක් ගොඩනගා ගැනීමට හැකි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡායාරූප මූලාශ්‍රය, Gathare Gamage

නමුත් උතුරට සහ දකුණට පොදු හඳුනා ගත් ගැට‍ළු සාකච්ඡාවට භාජනය කිරීමේදී භාෂාව බාධාවක් වී ඇති බවයි යාපනයේ ගිය තරුණ මාධ්‍යවේදියකු වන නිරෝෂ් මෛත්‍රී කියා සිටියේ.

‘අපිත් එක්ක ගිය මාධ්‍යවේදීන් දෙන්නෙකුට විතරයි දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් වුනේ. ඒක තමයි ඒ මාධ්‍යවේදීන් සමග සන්නිවේදනය කර ගන්න තිබුණ පහසුකම. අපිට දැන ගන්න හැකි වූ දෙයින් අපි තේරුම් ගත්ත දේ තමයි උතුරේ සිදු වන ප්‍රවෘත්ති වටිනාකමක් තියන ගොඩක් දේවල් දකුණේ වාර්තා වෙන්නේ නැහැ කියන දේ තමයි එහෙ මාධ්‍යවේදීන්ගෙන් කිය වුනේ. අපිට තේරුණා ඒක එහෙම වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ, තියන භාෂා ගැටලුව’ ඔහු පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Gathare Gamage

‘යුද්ධය නිමා වූ සැනින් මුදා ගත් කලාප නැරඹීමට යන සම්ප්‍රදායික අධිපතිවාදී මංමුළාවෙන් මිදී සහෝදරාත්මක ආකල්පයකින් උතුරේ සංචාරය කර’ කොළඹ බලා පැමිණි තරුණ මාධ්‍යවේදීන් කණ්ඩායම ඇඟිලි ගනිමින් සිටින්නේ ඔවුන්ගේ මෙමස පඩිපත අතට ලැබෙන තුරු යැයි සඳහන් කරති.

ඒ උතුරේ තරුණ ජනමාධ්‍යවේදීන් පිරිසකට දකුණේ සැබෑ හෘද ස්පන්දනය ඇසීම දැකීම සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින්.

ඡායාරූප මූලාශ්‍රය, Gathare Gamage

ඉදිරියේදී යාපනයේ තරුණ ජනමාධ්‍යවේදීන් ගාල්ල බලා පැමිණීමට නියමිත බවයි තරුණ ජනමාධ්‍යවේදිනියක වන ශිවන්ති ප්‍රනාන්දු පවසන්නේ.

යාපනයේ නිවාස සහ අවට පරිසරය බෙහෙවින් දකුණේ ගාල්ල, මාතරට සමාන බව ඇය සඳහන් කළාය.

‘යාපනය සංචාරයේ මුල ඉදන්ම අපට සහයෝගය ලබා දුන්න යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහත්මයා, යන ගමන් අපට කිව්වා මේක මාතර වගේ නේද කියලා. ඔහුට අවබෝධයක් තියනවා ඔහු නිතර කොළඹ යන එන නිසා. හැබැයි අපිත් එක්ක එකතු වුනු යාපනයේ සහෝදරවරුන්ට පැහැදිලි හැඟීමක් නැහැ මාතර කොහෙද කියලා’ ශිවන්ති ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.