දේශීය පරීක්ෂණයකට උපදෙස් අවශ්‍යයි - මංගල

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස "උපදෙස්, තාක්ෂණික සහාය සහ ආධාර ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර එම ඉල්ලීම කළේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 28 වැනි සැසිවාරය අමතමින්.

ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිය ආණ්ඩුව දැනටමත් ගෙන තිබෙන පියවර පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළ අමාත්‍යවරයා, විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමෙහිලා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව සිය ආණ්ඩුව වටහාගෙන තිබෙන බව සඳහන් කළේය.

'පරස්පර අදහස්'

එබැවින් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ට ආරාධනා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දේශීය පරීක්ෂණයක් 'අවශ්‍ය නම් පමණක්' පිහිටුවන බවයි අධිකරණ ඇමතිවරයා පවසන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, දේශීය පරීක්ෂණයක් 'අවශ්‍ය නම් පමණක්' පිහිටුවන බවයි අධිකරණ ඇමතිවරයා පවසන්නේ

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් සකස්කරමින් සිටින බවක් සිය දේශනයේදී සඳහන් කළ නමුත් එවැනි යාන්ත්‍රණයක් පිහිටුවන බව අමාත්‍යවරයා සෘජුවම සඳහන් කළේ නැත.

විශේෂයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව ආණ්ඩුව තවමත් අවසාන තීරණයකට එළැඹ නොමැති බවට <link type="page"><caption> අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/02/150225_justice_minister" platform="highweb"/></link> කරන ප්‍රකාශය සහ සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රකාශය පරස්පර නොවේ දැයි විමසූ අවස්ථාවේ ජිනීවා නුවර සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය කියා සිටියේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් සාමූහික වගකීම රකින හැඩක් දකින්නට නැති බවයි.

"නමුත් මංගල සමරවීර ඇමැතිතුමාත්, අජිත් පෙරේරා ඇමැතිතුමාත් ප්‍රසිද්ධියෙම කියල තියෙනව, දේශීය යාන්ත්‍රණයක් පිහිටුවනවයි කියල," සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට පැවසීය.

"අපි දන්නේ නෑ සත්‍යය මොකක්ද කියල නමුත් අදහස් දෙකක් තියෙනව."