ජාතිවාදී මාධ්‍යකරණයට රනිල් පෑ විරෝධය 'කාලීනයි'

ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

අග්‍රාමාත්‍යවරයා කිසියම් ආවේගයකින් එම කාරණය පැහැදිලි කළ නමුත් ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව බලන විට ඉහත කී ප්‍රකාශය කිසි සේත් මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර
ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර

‘මෙවැනි හෙළිදරව් කිරීම් ජාතික නායකයන්ගෙන් සිදු විය යුතු දෙයක්. නැත්නම් මේ රට නැවතත් ඉතාම අඳුරු අනාගතයකට ගෙන යන පෙරගමන්කරුවන් හැටියට මේ රටේ ජනමාධ්‍යකරුවන් පත් වෙනවා. ඇත්තටම රටට තර්ජනයක් වෙන කාරණයක් සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිලි කිරීමක්, ඔහු කිසිසේත්ම කිව්වේ නැහැ මාධ්‍ය ආයතන වටලනවා කියලා, සීල් තබනවා කියලා’ ඔහු පැවසීය.

සඳුදා කුරුණෑගල පැවති රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතැම් සිංහල පුවත්පත් සම්බන්ධයෙන් විවේචන එල්ල කළේ, හිටපු ජනාධිපතිවරයාට සහාය දෙන ඇතැම් පුවත්පත් ජාතිවාදය පතුරවමින් සිටින බවට චෝදනා කරමින්.

‘මේ අය තමයි මහින්ද රාජපක්ෂට කඩේ ගියේ, මේ ඇතැම් කතුවරු ආණ්ඩුවෙයි පත්තරෙයි දෙකේම තනතුරු තියා ගත්තා. ඒගොල්ලන්ට මහින්ද රාජපක්ෂ නැවත අගමැති හරි ජනාධිපති කරන්න ඕනෙනම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ජාතිවාදය කරන්න බැහැ’ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

'සාමය'

ප්‍රසිද්ධ සිංහල පුවත්පත් තුනක් වන දිවයින, රිවිර හා ඉරුදින යන ආයතනවල පුවත්පත් කතුවරුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට දැඩි ලෙස චෝදනා එල්ල කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔවුන් පිළිබඳ තොරතුරු සැඟවීමෙන් ප්‍රතිඵලයක් නොමැති බැවින් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමට සිදු වන බවයි කියා සිටියේ.

‘රාජපක්ෂලාගෙන් හම්බ කරපු අය මාධ්‍ය අරගෙන පත්තර ගෙනි යන්න හදනවා, දැන් ජාතිවාදය වපුරන්න හදනවා’ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී මාධ්‍ය අයිතිකරුවන් සහ කතුවරුන් කැඳවා ජාතිවාදී මාධ්‍යකරණය පිළිබඳ ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

‘අළුත් යහපාලනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ අන්තිම අවවාදය. අපිට තියන්නේ මේ රට නැවත ලේ විලක් කරන්න නෙවෙයි. ජනතාවට සාමය ගෙනත් දෙන්න’ යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේය.