ගෝඨාභයගෙන් 'අර්ධ ප්‍රකාශයක් ලබාගත්තා'
රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම් සතු අවි ගබඩා පිළිබඳව පැවැත්වෙන විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් පිරිස එම ප්‍රකාශය සටහන් කරගෙන තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී.
කෙසේ නමුත් අදාළ ලිපිගොනු පරීක්ෂා කොට ප්‍රකාශයක් ලබා දෙන බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළ බැවින් ඔහුගෙන් ලබාගැනීමට හැකිවූයේ අර්ධ ප්‍රකාශයක් පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සංදේශයට පැවසීය.
'විදෙස්වලින් ගත් ආයුධ'
"ඕනෑම පුද්ගලයකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමේදී ඔහු ප්‍රකාශ කරනවා නම් ඊට අදාළ තවත් ලේඛන තියෙනවා, ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් කියල ඒ අවස්ථාව අපි ලබාදිය යුතුයි. එසේ නොවුනහොත් සම්පූර්ණ ප්‍රකාශයක් වෙන්නේ නැහැ," යනුවෙන් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබීයදී සොයා ගැනින.
ඒ අතර මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාවීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට අයත් නෞකාවක තිබී ගාල්ලේ දී අවි ආයුධ තොගයක් සොයා ගැනීම පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වූ රජයට අයත් සමාගමක් වූ නමුත්, ඇවන්ගාඩ් වැනි පුද්ගලික ආරක්ෂක සමාගමකට එසේ අවි ගබඩා පවත්වාගෙන යාමේ නීතිමය බලයක් තිබෙන්නේද යන්න සහ එවැනි සමාගමකට අවි ආයුධ පවරා දිය හැකිද යන්න පිළිබඳව මෙම විමර්ෂණය පැවැත්වෙන බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ දී රක්නා ලංකා සමාගමෙන් නීත්‍යානුකූලව තාවකාලිකව ලබා ගත් අවි ආයුධ හැරුණු කොට, සිය නෞකාවල තිබෙන අනෙක් සියලු ආයුධ සහ ආම්පන්න විදේශවලින් මිලදී ගත් දේ බව අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියා මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය.