උතුරේ ඉඩම් අක්කර දාහක් මුල් පදිංචිකරුවන්ට
උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක ප්‍රමාණයක් නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය තීරණය කරයි.
මිට අමතරව නැගෙනහිර ප්‍රදේශයේ අක්කර හාරසීයක පමණද කොළඹ ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය අවට අධි ආරක්‍ෂිත කලාපයේ ඇති ගොඩනැගිලි ද ජනතාවට නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඔහු එම තීන්දු ප්‍රකාශයට පත් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.

ආදර්ශ ගම්මානයක්
උතුරු ප්‍රදේශයෙන් නිදහස් කරන අක්කර දහසක ඉඩම්වලින් අක්කර 220 ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022ක ජනතාව නැවත පදිංචි කරමින් ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද රජය තීරණය කල බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එම ඉඩම් නිදහස් කොට ජනතාවට පවරනු ලැබීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බවයි ඇමතිවරයා අවධාරණය කළේ.
එකී ඉඩම් නිදහස් කිරීම හේතුවෙන් අවතැන් කඳවුරුවල ජිවත් වන පුද්ගලයන්ට තම පදිංචි ස්ථානවලට යාමට හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

'ජන සංහාරය'
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමයේ සිදු වූ බව පවසන යුධ අපරාධ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින් උතුරු පළාත සම්මත කළ යෝජනාව රජය පිළිගන්නේ නොමැති බව පැවසූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල රජයේ මතය වී තිබෙන්නේ එම ගැටලුවට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම වන බවයි කියා සිටියේ.
උතුරු ප්‍රදේශයේ ජන සංහාරයක් සිදු වූ බවට පළාත් සභාව සම්මත කළ යෝජනාව දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර දේශපාලන ගැටළු නිසා සිදු වූ එකක් බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්ව සිටි පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානය සමග එක්ව උතුරේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට රජය සැම විටම සුදානම් බවයි ඔහු පැවසුවේ.
