විදේශ රැකියා කාර්යාංශයේ අඩුපාඩු තියෙනවා- තලතා
මැද පෙරදිග බලා යන ඇතැම් ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි නොවූ ආයතන මගින් විදේශගත වීම නිසා රජය විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන බව විදේශ රැකියා කටයුතු භාර ඇමතිනී තලතා අතුකෝරල බීබීසී සංදේශයට ප්‍රකාශ කළාය.
අබුඩාබියේ රාජ්‍ය සමාගමක් එහි ශ්‍රමිකයන්ට හිරිහැර කරන බවට ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය විසින් චෝදනා කරනු ලැබීම ගැන විමසීමක් කළ අවස්ථාවේයි ඇමතිවරිය එම අදහස පළ කළේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි නොවූ ආයතන හරහා විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ වගකීම රජයට භාර ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් තලතා අතුකෝරල ඇමතිවරිය පවසන්නීය.
‘ඒත් ශ්‍රී ලාංකිකයන් හැටියට අපට ලැබෙන හැම තොරතුරක් ගැනම අපි සැලකිලිමත් වෙනවා. හිරිහැර ආදියට ගොදුරු වෙන අපගේ රට වැසියන් ආපසු ගෙන්වා ගැනීමට අපි අකටයුතු කරනවා’ ඇමතිවරිය ප්‍රකාශ කළාය.
වැරදි කරුවන්ට දඬුවම්
ඉහත කී අබුඩාබි රාජ්‍ය ආයතනය කම්කරු වැටුප් සහ සේවා පහසුකම් නොදී ශ්‍රමිකයන්ට හිරිහැර කරන බවටයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එම සමාගමේ ඉන්දීය -බංග්ලාදේශ් - පාකිස්තාන් -නේපාල සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියා කරන බව වාර්තා වෙයි.
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපකාර නොකරන බවට චෝදනාවක් තිබෙනවා නොවේදැයි සංදේශය ප්‍රශ්න කළ විට එහි යම් සත්‍යයක් ඇති බව ඇමතිවරිය පිළි ගත්තාය.
‘මම නැහැයි කියන්නේ නැහැ. කාර්යාංශයට පැමිණිල්ලක් ලැබුනත් අදාළ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට මාස ගණනාවක් ගත වෙනවා. අනිත් අතින් විදේශගත ඇතැම් ශ්‍රමිකයන් නඩුහබ වලට පැටලිලා ඉන්නවා. ඔවුන් ආපසු ගෙන්වා ගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්නයකුත් තියෙනවා’ තලතා අතුකෝරල ඇමතිවරිය පවසන්නීය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනා පවතින අතර කවර මට්ටමේ හෝ එවැනි වැරදි කරන බලවතුන්ට දඬුවම් කරන බවත් ඇය කියා සිටියාය.
