'හංසයා වෙනුවට ත්‍රීරෝද රථයක්'
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කර සකසන ලද ඡන්ද පත්‍රිකා හලාවත ප්‍රදේශයෙන් හමු වේ.
ඡන්දදායකයන් නොමග යැවීමේ අරමුණින් මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ නමට ඉදිරියෙන් වැරදි ඡන්ද සලකුණක් යොදා සකසන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක බෙදා හැර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
‘මේකේ දාලා තියනවා මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාගේ ලකුණ ත්‍රීවීල් එකක් බවට. ඒ වගේම අලියා ලකුණ ඡන්ද පත්‍රිකාවේ මෙවර නැහැ. අලියා ලකුණ දාලා තියනවා තව එක්කෙනෙකුගේ නමට’ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ හලාවත ප්‍රධාන සංවිධායක ශාන්ත සිසිර කුමාර පැවසීය.
වැරදි ඡන්ද සලකුණු යොදා සකසන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හල පුද්ගලයන්ගේ විස්තර හලාවත පොලිසියට සහ පුත්තලම මැතිවරණ කාර්යාලයට ලබා දී ඇති නමුත් එම පුද්ගලයන් තවදුරටත් ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටින බවයි ශාන්ත සිසිර කුමාර වැඩි දුරටත් කියා සිටියේ.
මේ අතර නිල ඡන්ද පත්‍රිකාවට සමාන පත්‍රිකාවක් බෙදා හැරීම හෝ ළඟ තබා ගැනීම මැතිවරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක දී එම් දිසානායක සඳහන් කළේය.
‘පසුගිය දින කිහිපයකදීම ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුනා වැරදි විදිහට සකස් කරපු ආදර්ශ ඡන්ද පත්‍රිකා ජනතාව අතර සංසරණය කරන බවට, මෙය ඇත්තෙන්ම ජනතාවගේ තොරතුරු ලබා ගැනීමේ අයිතියට දැඩි බාධා පමුණු වන, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මතයට හානි කරන ආකාරයේ කටයුත්තක් හැටියට තමයි අපි දකින්නේ’ යනුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක දී එම් දිසානායක කියා සිටියේය.
පසුගිය දින කිහිපය ඇතුළත ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය.