නගරාධිපති අතේ පිස්තෝලයක් තිබුණා - ජයතිලක බණ්ඩාර

හම්බන්තොට නගරාධිපති තවත් පිරිසක් සමග පැමිණ තමාට පහර දී මරා දමන බවට තර්ජනය කළේ යැයි ‘වීදියේ විරෝධය’ වීදි ප්‍රසංගයට සහභාගී වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පවසයි.

‘හම්බන්තොට නගරාධිපති ඔහු තව පිරිසක් සමග ආවා. ඇවිල්ලා, මෙහෙ කිසි දෙයක් කරන්න බැහැ. කරන එවුන් මරනවා. කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියලා ඛාන්ට කිව්වා. ඊට පස්සේ මාව දැක්කා. මට පහර දුන්නා.හෙල්මට් වලින් ගැහුවා. ඒ අස්සේ ඛාන් මාව බදා ගත්තා’ යනුවෙන් ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සංදේශයට කියා සිටියේය.

ඒ අවස්ථාවේ පිස්තෝලයක් අතැතිව සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වීදි ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන බව පවසමින් දිගින් දිගටම තමාට පහර දුන් බවයි ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර කියා සිටියේ.

හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක එම් අයුබ්ඛාන් මන්ත්‍රීවරයා සහ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දුද වීදි ප්‍රසංගයට සහභාගී වූ පිරිස සමග සිටියහ.

අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට එක් වී සිටි ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසක් මීට සති කිහිපයකට ඉහතදීද පහර කෑමට ලක් විය.

‘කලාකරුවන් වශයෙන් මහින්ද රාජපක්ෂ රජයේ වියරුව පරාජය කරමින් දුෂ්ට පාලකයන් පළවා හැරීම සඳහා කළ හැකි සියල්ල’ කරන බවත් කාලා ශිල්පී ජයතිලක බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේය.

පහර කෑමට ලක් වූ කලා ශිල්පී ජයතිලක බණ්ඩාර, හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක එම් අයුබ්ඛාන්, මාධ්‍යවේදී සම්පත් සමරකෝන් හා වීදියේ විරෝධය වැඩ සටහනේ සංවිධායකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු රෝහල් ගත කර තිබේ .

'ඔරලෝසුව නැති වුණා'

පහර දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ සංදේශය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගෙන් විමසා සිටි අතර එහිදී නගරාධිපතිවරයා කියා සිටියේ ඇති වීමට ගිය ගැටුමක් නැවත් වීමට ඔහුට හැකි වූ බවයි.

විදියේ විරෝධය සංවිධායකයන් නගන චෝදනා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කළ අතර ගැටුම නිරාකරණය කිරීමට ගොස් තම අත් ඔරලෝසුවද නැති වූ බව වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර පහර දීම සිදු වන අවස්ථාවේ පොලිසිය එම ස්ථානයට පැමිණ නැති බවයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට ප්‍රකාශ කළේ.

'සෙල්ලම් පිස්තෝලය'

‘සෙල්ලම් පිස්තෝල කියලා පසුව කිව්ව, සැබෑ පිස්තෝල අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි ගෞරවනීය මහජන නියෝජිතයන් පසු පස පන්නපු කණ්ඩායමම තමයි මේ ප්‍රහාරය සිදු කර තිබෙන්නේ’ යනුවෙන් කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් වැඩි දුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.