'සුභ පැතුම ලැබෙන විට නංගි සුනාමියට බිලි'

උපන්දින සුභපැතුම් පත ලන්ඩනයේ වෙසෙන සොහොයුරියක් වෙත ලැබෙන විට එම සුභපැතුම් පත තැපැල් කළ සොහොයුරිය සුනාමියට හසු වී සදහටම වෙන් වී ගොසින්.

ඒ සොයුරිය ගැන ගාල්ල කොටුව කොමෂල් බැංකු ශාඛාවේ කළමනාකරු ප්‍රේමලාල් සල්වතුර අදත් සිහිපත් කරන්නේ හැඬු කඳුලින්.

දෙදහස් හතර වසරේ දෙසැම්බර් විසිහය වැනි දින සොහොයුරියන් දෙදෙනෙක් සහ දෙමව්පියන් ඇතුළු පවුලේ ඥාති පිරිස සමඟ ප්‍රේමලාල් සල්වතුරත් සූදානම්ව සිටියේ කතරගම වන්දනා ගමනක යෙදීමට.

එහෙත් සිය දුවණියට හදිසියේ උණ ගැනීම හේතුවෙන් ඔහුටත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් එයට සහභාගි වීමට නොහැකි විය.

දරා ගන්න අමාරුයි

කතරගම බලා ගමන් ගත් පිරිස හම්බන්තොටදී ආහාර ගැනීමෙන් අනතුරුව සුළු වේලාවක් එම ස්ථානයේ රැඳී සිටියදී, හිත්පිත් නොමැති සුනාමි දළ රල පෙළ තමා දෙසට ඇදී එන බව ඔහුගේ දෙමව්පියන්, සහෝදරියන් දෙදෙනා ඇතුළු පවුලේ ඥාතීහු නොදැන සිටියහ.

"මේක හරි දරා ගන්න අමාරුයි. මොකද අම්මා තාත්තා. නංගිලා දෙන්නා. නංගිගේ පොඩි එවුන් දෙන්නා. මගේ නංගිගේ මහත්තයාගේ අම්මා තාත්තා. එයාගේ නංගිලා තුන් දෙනා. එයාගේ එක නංගි කෙනෙක්ගේ මාස දෙකක ළදරුවා. එතකොට මේ දොළොස් දෙනාම. ඔක්කොම වෑන් එකේ දාහතර දෙනෙක් ගියේ. දාහතර දෙනාගෙන් දොළොස් දෙනෙක්ම සුනාමියෙන් බිලි ගත්තා," යනුවෙන් ප්‍රේමලාල් සල්වතුර පැවසුවේ දෙදහස් හතර වසරේ දෙසැම්බර් විසිහය වැනිදා තමාගෙන් සමුගත් ආදරණීය සමීපතමයන් සිහි කරමින්.

ඔහුට සොයා ගැනීමට හැකිවුණේ සිය දෙමව්පියන්ගේ මෘත ශරීර පමණයි.

සුනාමියට හසු වූ බාල සොහොයුරියගේ දිවි ආරක්ෂා වී ඇති අතර ලන්ඩනයේ වෙසෙන අනෙක් සොහොයුරිය ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර දෙමව්පියන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට සිදු වූ බව ප්‍රේමලාල් සල්වතුර පවසයි.

දෙසැම්බර් විසිපස් වන දින සුනාමියට බිලි වූ සොහොයුරිය තම ලන්ඩනයේ වෙසෙන සොහොයුරියට තැපැල් කළ උපන්දින සුභ පැතුම්පත ලැබෙන විට එය තැපැල් කළ සොහොයුරිය දිවියෙන් සදහටම සමුගෙන ගිහින්.

"ඒ කාඩ්පත ලන්ඩනයට ලැබෙන කොට මේ අය කවුරුත් ජීවතුන් අතර නැහැ. මගේ නංගි කියන්නේ අයියේ මේ කාඩ් එකේ මොකක්ද තියෙන්නේ කියලා මම දන්නවා. මට මේක විවෘත කරන්න ආත්ම ශක්තියක් නැහැ. ඔයාට කලින් කවදා හරි මම නැති උනොත් මාත් එක්ක මගේ පෙට්ටියට දාන්න," ප්‍රේමලාල් සල්වතුර හැඬුම්බරව පැවසුවේ ගාල්ල කොටුවේදී සංදේශයේ සරෝජ් පතිරණ හමු වූ අවස්ථාවේදී.