නාම යෝජනා උණුසුමේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

සඳුදා (08) මධ්‍යාහ්නය වන විට ගත වූ පැය හතළිස් අටක කාලය ඇතුළත ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ, දිවයිනේ පළාත් කීපයකින් ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇති බවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක ඩී.එම්.දිසානායක බීබීසියට අදහස් දක්වමින් ‘ඉහත කී පැය හතළිස් අටක කාලය ඇතුළත ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි වැඩි වීමක්’දක්නට ලැබෙන බවයි පෙන්වා දුන්නේ.

පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බෝම්බ ප්‍රහාරයක් ගැනත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

බෝම්බ ප්‍රහාරයක්

ප්‍රහාරයට ඉලක්ක වූ දන්කොටුව දළුවිල සරත් රත්නසිරි බීබීසියට ප්‍රකාශයක් කරමින්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවකු වූ තමා ආණ්ඩුවේ ගමන් මාර්ගය ගැන කලකිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට පසුගිය දා ඉදිරිපත් වීමෙන් අනතුරුව එම බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණ බවයි කියා සිටියේ.

සිය දේශපාලන මතයේ සිදු කළ වෙනසක් නිසා ඔහුගේම පක්ෂයේ ආධාරකරුවන් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යාවජීව ආධාර කරුවකුට පහර දෙනු ලැබීම හෙලා දකින බවයි ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පවසන්නේ.

දන්කොටුව ප්‍රදේශයේ සිදු කෙරුණ බෝම්බ ප්‍රහාරයක් මිස වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමක දී සඳහන් කළේ.

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ පළමු වරට ජනතාව අමතමින් ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.