සෑම අංශයකම නිදහස නැති වෙලා - සෝලංගආරච්චි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරන බව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.
‘මාගේ යාවජීව ගුරුතුමාණන් වන ගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ප්‍රමුඛ මගේ සහෘදයන් කිහිප දෙනෙක් ඒ මැතිවරණයේදී අපට අහිමි වුනා, අහිමි කළා. යුද්ධය නිමා වුනාට මේ රටේ අනිත් පැත්තෙන් සෑම අංශයකම නිදහස නැති වෙලා තියන බව මට හිතුණා, මට හැඟුණා, දැනුණා.’ යනුවෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රසන්න සෝලංගආරච්චි කියා සිටියේය.
පක්ෂ සාමාජිකයන් ජනාධිපතිවරයාට නිවැරදි දේ පෙන්වා නොදී ඔහු රවට්ටන තත්වයට අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වී ඇති බවටත් ප්‍රසන්න සෝලංගආරච්චි චෝදනා කරයි.
විධායක ජනාධිපති ධුරය දේවතාවකට වඩා දැරීම තුළින් ඒකාධිපති පාලනයක් ඇති විය හැකි බවට තමාට බියක් පවතින බවද ඔහු එහිදී පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණය ඓතිහාසික මැතිවරණයක් බවත් ශ්‍රී ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන බවත් ප්‍රසන්න සෝලංගආරච්චි සඳහන් කළේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරි ජනාධිපතිවරණයෙදී කුමන තීරණයක් ගනු ඇත්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි කියා සිටියේ ඇයගේ දේශපාලන තීන්දු සම්බන්ධයෙන් තමාට අදහස් දැක්වීමට නොහැකි බවයි.
‘භාරත මන්ත්‍රීතුමාගේ ලේනෙ එයාගේ ඇඟේ දුවන්නේ. නංගිත් සමහරවිට හොද තීන්දුවක් ගනියි’ යනුවෙන් ප්‍රසන්න සෝලංගආරච්චි වැඩි දුරටත් පැවසුවේය.