ආරච්චිකට්ටුවේ ‘තවත් රතුපස්වලක් එපා’

තම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සෙවිලි තහඩු කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයක ඉදිකිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ගම්වාසීහු විරෝධතාවයක නිරතව සිටියහ.

ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව විහාරස්ථානයට එක් රැස්වූ හාරදහසකට ආසන්න ජනතාව සමඟ එකතු වූ බෞද්ධ, කතෝලික ආගමික නායකයන් ජනතාවට නායකත්වය දෙමින්, පාගමනින් කර්මාන්ත ශාලාව ඉදිරිපසට ගොස් විරෝධතාවයේ නිරතවූ බවයි බීබීසී වාර්තාකරු ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

මෙම විරෝධතාවයට සහාය දක්වමින් ආනවිළුන්දාවේ වෙළඳසැල් වසා දමා තිබු අතර ප්‍රදේශය පුරා කළු කොඩි ඔසවා තිබිණි .

ආනවිළුන්දාව ජාත්‍යන්තර රැම්සා අභය භූමියට යාබදව ඉදි කරන මෙම සෙවිලි තහඩු කර්මාන්ත ශාලාව හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බව පෙන්වා දෙන ආනවිලුන්දන්පත්තු පරිසර සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු පූජ්‍ය විල්පත ප්‍රේමානන්ද හිමියන්, මේ කර්මාන්ත ශාලාව ඉදි නොකරන බවට ප්‍රදේශයේ දේශපාලන නායකයන් අවස්ථා ගණනාවකදීම පොරොන්දු වූ බවද පවසයි .

පැය තුනකට අසන්න කාලයක් පැවති මේ විරෝධතාවය හේතුවෙන් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා සිදු විණි .