භාරත ඝාතන අංක දෙක මට විරුද්ධව - රන්ජන්

පසුගිය සතියේ හිරු නාලිකාවේ බලය දේශපාලන සංවාදමය වැඩ සටහනේදී තමන්ට පහර දී ඝාතනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කළ බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ආණ්ඩුවට චෝදනා කරයි.

එම වැඩසටහනේ කථිකයන් හදිසියේම වෙනස් කිරීමත්, වැඩසටහනේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරුන් හැසිරුණු ආකාරය මෙන්ම සාකච්ඡාව අතරවාරයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නාලිකාවට කඩා වැදීම මගින් සිය චෝදනාව හොඳින්ම තහවුරු වන බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය.

"මේක මම හඳුන්වන්නේ නිකම් භාරත ලක්ෂ්මන් ඝාතන අංක දෙක කියල," යනුවෙන් ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'බලය' සංවාදයට බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා සහභාගි වන බව හිරු නාලිකාවේ නිෂ්පාදකවරයා මුලින් සඳහන් කළ නමුත් 'බඩේ අමාරුවක්' බව පවසමින් ගුණවර්ධන ඇමතිවරයා සහභාගි නොවුන අවස්ථාවේ එයට පූර්ව සූදානමක් නොතිබුන බැවින් සංවාදයට සහභාගි වීම තමන් ප්‍රතික්ෂේප කළ බවත් මන්ත්‍රීවරයා පවසයි.

'අපි සෙට් කරලා ඉවරයි'

කෙසේ නමුත් නාලිකාවේ ඉල්ලීම මත රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරුන් සමඟ වාදයට එක් වූ මුල් අවස්ථාවේ පටන්ම ඇමතිවරුන් දෙදෙනා <link type="page"><caption> ඉතා ආවේගශීලීව</caption><url href="https://www.youtube.com/watch?v=Uk5vViGw0rw" platform="highweb"/></link> තමන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදෙමින් දිගින් දිගටම බාධා කළ බවත් ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, ආනන්ද සරත් කුමාර ඇතුළු පිරිසක් නාලිකාවේ පහල මාලයට ඇතුළු වූ බව දැනගන්නට ලැබුන බවත් ඔහු පවසයි.

"මට එස්එම්එස් සහ අපිටත් බුද්ධි අංශයක් ඉන්නවා. මට ආරංචියක් ආව, යම්කිසි ස්ථානයක එළියම ටීවී දාගෙන නායකයන් පිරිසක් 'අද රන්ජන්ට ගහනවා. අපි සෙට් කරලා ඉවරයි සේරම' කියල එතන බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමාත් ඉඳල තියෙනව. බඩේ අමාරුවක් හැදිලත් නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

ඉන් අනතුරුව සංවාදයේදී ඇමතිවරුන් දෙදෙනා දිගින් දිගටම තමන්ට 'සටනට ඇරයුම් කළ' ආකාරය අනුව ඔවුන් පැමිණ සිටියේ වාදයකට නොව පහරදීමකට බව වැටහුණු බවයි, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ.

එහිදී පක්ෂයේ නායකයන්ගෙන් කෙටි පණිවුඩ මාර්ගයෙන් ලද උපදෙස් මත වාදයට ක්‍රියාශීලීව සහභාගි නොවී පසුබෑමට ඔහුට සිදු වී තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එල්ල කරන සියලු චෝදනා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, HIRUTV

ඡායාරූප ශීර්ෂ වැකිය, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එල්ල කරන සියලු චෝදනා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

තමන් එල්ල කරන චෝදනා සත්‍ය බව හිරු නාලිකාවේ සහ විදුලි සෝපානයේ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ඉරිදා ප්‍රකාශයට පත් වූ ආණ්ඩුවේම සිළුමිණ පුවත්පත එය සනාථ කොට ඇති බවත් සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොලිසියේ මෑතකාලීන ක්‍රියාදාමයන් විමසා බැලීමේදී මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.

ආණ්ඩුවට, ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ ජනපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව තමන්ට කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බව අවධාරණය කරන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, සිය ව්‍යායාමය හුදෙක් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු ලෙසින් ජනතාවට සිය යුතුකම ඉටුකිරීම බව අවධාරණය කරයි.

"පෞද්ගලික ප්‍රශ්නයක් නොවන දෙයක් පෞද්ගලික කරගෙන මට පහරදීමට උත්සාහ කිරීම හෝ මරා දැමීම වැරදියි. එතන පහරදීමක් වුනත්, ඝාතනයක් වුනත් ලංකාවේ මම මේ ගැන ජනතා අධිකරණයට කියනවා මිසක් ඇත්ත කියන්න බැරි තත්වයක් තමයි අද ලංකාවේ තියෙන්නේ කියල මුළු ලෝකෙම දන්නවා," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එල්ල කරන සියලු චෝදනා <link type="page"><caption> ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/10/141019_johnston_ranjan.shtml" platform="highweb"/></link> ප්‍රතික්ෂේප කරයි.