‘රට කරවන්නේ ආණ්ඩුව නොවේ’- විජේදාස රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ දුම් කොළ භාවිතය සම්බන්ධයෙන් දැනට බලපැවැත්වෙන නීතිය සංශෝධනය සඳහා ඉදිරිපත් කර තිබුණ පනත් කෙටුම් පතක් සිකුරාදා පාර්ලිමේන්තුව තුල පරාජයට පත් විය.
මන්ත්‍රීවරයාගේ උත්සාහය වුනේ දුම්වැටි පැකට්ටු වල කවරය මතුපිට 80% ක පමණ පරාසයක දුම් බීමේ ආදීනව දැක්වෙන පින්තූර පළ කොට දුම් බොන්නන්ට අනතුරු ඇඟවීමක් කිරීමයි.
එහෙත් එම යෝජනාව වැඩි ඡන්ද දාහතරකින් පරාජයට පත් වුණි.
සිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ එම ජයග්‍රහණය බහුජාතික සමාගම්වල ජයක් වූ බවයි.
මෛත්‍රිපාල සිරිසේනගේ පනත

‘මෙම පනත මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍යය ඇමතිවරයා සද්භාවයෙන් ගෙනා පනතක්. එම පනත නිසා තමාට ජීවිත තර්ජන ඇති බව එතුමාම ප්‍රකාශ කළා. පරම්පරා ගණනකට සෑහෙන මුදල් සොයා ගැනීමටත් තමාට අවස්ථාව තිබුණ බවත් එහෙත් තමා ඊට එකඟ නොවූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා’ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
එයින් පැහැදිලි වන්නේ දුම් කොළ සමාගම් හිමිකරුවන් සහ ආණ්ඩුවේ ප්‍රබලයන් සෞඛ්‍ය ඇමතිවරයා එම පනත ගෙන ඒම වළක්වාලීමට උත්සාහ කළ බව යයි මන්ත්‍රීවරයා කියා සිටියි.
එහෙත් එම පනත රටට වැදගත් එකක් වූ හෙයින් විපක්ෂයේ යුතුකම හැටියට එම අවස්ථාවේ ආණ්ඩුවත් සමඟ එකට එක් වී සහයෝගය දී පනත් කෙටුම්පත සම්මත කිරීමට දායක වූ බවයි, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිහිපත් කරන්නේ.
ව්‍යවස්ථාදායක බලය
එහෙත් සිගරැට් පැකට්ටුවල මතුපිට 80% ක පරාසයක දුම් බීමේ ආදීනව දැක්වෙන පින්තූර පළ කිරීමේ පාර්ලිමේන්තු තීරණය 60% ක් බවට පත් කරන ලෙස අධිකරණය තීන්දු කර ඇති අතර එය ව්‍යවස්ථාදායකයේ බලය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
තමා විසින් සංශෝධනයක් ගෙන එන ලද්දේ එකච්ඡන්දයෙන් සම්මත කර ගත් මුල් පනත ආරක්ෂා කර ගැනීමට බවත් ඔහු පවසයි.
ආණ්ඩුව එම සංශෝධනයට එරෙහි වීම තුලින් පෙන්නුම් කරන්නේ අද රට පාලනය කරනු ලබන්නේ ආණ්ඩුවක් නොව බහුජාතික දුම් කොළ සමාගම, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාලය විසින් බව ප්‍රදර්ශනය කිරීමක් වන බවයි, කළා’ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටින්නේ.








