ඇඟලුම් සේවිකාවගේ මරණය 'සැක' සහිතයි

කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී මිගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය කලුඅරාච්චිගේ ඥානවතී නමැති ඇඟලුම් සේවිකාවගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීහු සහ වෘත්තීය සමිති කියා සිටිති.

මොලය අභ්‍යන්තරයේ හටගත් රුධිර වහනයක් හේතුවෙන් ඇය මිය ගිය බවට අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් තීන්දුව බැහැර කරන පවුලේ ඥාතීන් හා වෘත්තීය සමිති මෙය අහාර විෂවීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බව පවසමින් වැඩිදුර පරික්ෂණයක් ඉල්ලා සිටියි.

ඇයගේ ඥාතීන් හා වෘත්තීය සමිති නායකයන් එක්ව කටුනායක පොලිසියට මේ පිලිබදව පැමිණිල්ලක්ද කර තිබේ.

දැඩිසත්කාර

ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් ආහාරයෙන් පසු කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ට වමනය සමග පාචනය තත්වයක් ඇති වූ බැවින් ඔවුන් රෝහල් ගත කෙරිණි.

පන්සීයකට වැඩි සේවකයෝ පිරිසක් රෝගී තත්වයෙන් පසු වූහ.

බරපතල ලෙස රෝගාතුර වූ සේවකයන් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

ඉන් එක් අයෙකු වූ කලුඅරච්චිගේ ඥානවතී නමැති දෙදරු මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

දැඩිසත්කාර ඒකකයේ සිටි අනෙක් සේවකයා අසාධ්‍ය තත්වයේ පසු වූ නමුත් ඔහු රෝහලෙන් පිටත් කර යවා ඇති අතර ඔහුගේ රෝගී තත්වය මේ වනතුරු සුව වී නොමැති බව ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේය.