පරීක්ෂණ මඬුල්ල 'ඉන්දියාවට වීසා ඉල්ලුවේ නෑ'

වීසා ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා 'පදනම් විරහිතයි'
ඡායාරූප ශීර්ෂ වැකිය, වීසා ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා 'පදනම් විරහිතයි'

ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයට ඉන්දියාවේ සංචාරය කිරීම පිණිස වීසා අයදුම් නොකළ බව මානව හිමිකම් මණ්ඩලය පවසයි.

මානව හිමිකම් මණ්ඩලයේ නිලධාරීන් ඒ බව කියා සිටියේ, පරීක්ෂණ මණ්ඩලයට වීසා බලපත්‍ර ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊය විසින් බරපතල ලෙසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කළ බවට එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම පිණිස මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ පසුගියදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කළාය.

ජාත්‍යන්තර විශේෂඥයන් තිදෙනකුගෙන්ද සමන්විත එම කමිටුවට සිය පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකාව නිවේදනය කොට තිබේ.

තමිල්නාඩුවේ විරෝධය

පරීක්ෂණ වෙනුවෙන් ඉන්දියාවට පැමිණීමට ඔවුන්ට වීසා බලපත් ලබා නොදෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරන තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයරාම් ජයලලිතා, ආණ්ඩුවේ එම තීන්දුවට දැඩි විරෝධය පළ කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත <link type="page"><caption> ලිපියක් යොමු කොට</caption><url href="http://www.dailymirror.lk/news/50166-jaya-urges-pm-to-give-visa-to-un-team.html" platform="highweb"/></link> තිබේ.

සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ සලසනු වස් පරීක්ෂණ මඬුල්ලට ඉන්දියාවට පැමිණීමට අවසර දිය යුතු බව ඇය අවධාරණය කරන බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තමිල්නාඩුවේ විපක්ෂනායක මුතුවේල් කරුණානිධිද ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දැඩි විරෝධය පළ කොට තිබේ.

ඉන්දීය ආණ්ඩුවට තමිල්නාඩුවෙන් මෙම විරෝධය පළ වන්නේ, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන්ට වීසා බලපත් ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කොට ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් <link type="page"><caption> ප්‍රතිභා මහානාමහේවා</caption><url href="http://ahmadiyyatimes.blogspot.co.uk/2014/07/india-refuses-visa-to-un-team-probing.html" platform="highweb"/></link> විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින්.

එහෙත් එක්සත් ජාතීන්ගේ කමිටුව ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා මෙතෙක් ඉල්ලීමක් කොට නැති බව සඳහන් කළ මානව හිමිකම් මණ්ඩලයේ නිලධාරියා, එබැවින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා 'පදනම් විරහිත' බව සංදේශයට කියා සිටියේය.

බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී, ඉන්දියාවේ දිල්ලි අගනුවර සිටින එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක්ද එය තහවුරු කළේය.