විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට 'ප්‍රවේශයක්'

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හොඳම ප්‍රවේශය එළැඹෙන ජනාධිපතිවරණය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ප්‍රවීණ නීතිවේදියෙක් පවසයි.

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න බීබීසී සංදේශයට එම අදහස් පළ කළේ හිටපු විපක්ෂනායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ විසිපස් වන <link type="page"><caption> ගුණානුස්මරණ දේශනය</caption><url href="http://lankanewsweb.net/features/8185-constitutional-reform-in-sri-lanka-issues-and-prospects-dr-jayampathy-wickramaratne" platform="highweb"/></link> පැවැත්වීමට ලන්ඩනයට පැමිණ සිටියදී.

'දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින ඇති විශාල දෙමළ ජනතාවක් ඉන්නවා'

ඡායාරූප මූලාශ්‍රය, LankaNewsWeb

ඡායාරූප ශීර්ෂ වැකිය, 'දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින ඇති විශාල දෙමළ ජනතාවක් ඉන්නවා'

ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙනු දැකීම සිය කැමැත්ත වුවත්, මේ අවස්ථාවේ එය ප්‍රායෝගික නොවන බව සඳහන් කළේය.

"මේ වෙලාවෙ අප පළමුවෙන්ම කළ යුත්තේ ඒ සඳහා පලමු පියවර ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇතිකර ගැනීමයි. එවිට අපට පියවරෙන් පියවර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කර ගැනීම තුලින් දේශපාලන විසඳුමක් කරා යා හැකියි," යනුවෙන්ද ඔහු පැවසීය.

අමිර්තලිංගම් හැදෑරීම

විධායක ජනාධිපති ක්‍රමයට අසීමිත බලතල පවරා දීම හමුවේ වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අධිකාරිවාදී ස්වරූපය මගින් සියලු සමාජ කතිකාවන් අහෝසි කර දමා ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම තත්වය සමනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කර ගැනීමේ අවශ්‍යතාවය, ආචාර්ය වික්‍රමරත්නයන්ගේ අමිර්තලිංගම් සමරු දේශනයේ තේමාව වී තිබුණි.

අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් 1989 දී කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදී
ඡායාරූප ශීර්ෂ වැකිය, අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් 1989 දී කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදී

මුලින්ම වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිට පසුව සිය මතවාදය වෙනස් කොට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් <link type="page"><caption> අප්පාපිල්ලේ අමිර්තලිංගම්</caption><url href="http://www.bbc.co.uk/news/world-south-asia-11317430" platform="highweb"/></link> කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද බව පෙන්වා දෙන ආචාර්ය වික්‍රමරත්න: "මේ අවස්ථාවේදී ඔහුගේ දේශපාලන භාවිතාව පිළිබඳව අවලෝකනයක යෙදීම දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අතිවිශාල දෙමළ ජනතාවකගේ අභිලාශයන් වෙනුවෙන් ඉතා වැදගත්,"යනුවෙන්ද පැවසීය.

ජාතික ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලි ස්ථාවරයක් නොමැති බව පසුගියදා දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා ගේ සංචාරය තුලින්ද හොඳින්ම ප්‍රදර්ශනය වූ බවත් සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න මේ විදියේ සාකච්ඡා පවත්වල වැඩක් නැහැ. මේ ප්‍රශ්න අපට අභ්‍යන්තරව විසඳ ගන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍යයි දේශපාලන කැපවීමක්," යනුවෙන්ද ජනාධිපති නීතිඥ වික්‍රමරත්න කියා සිටියේය.

වර්තමානයේ විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවසීය.