ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපතිට 'තර්ජන'
පොලිසියට එල්ල වී තිබෙන මනුෂ්‍ය ඝාතන චෝදනා, ආණ්ඩුවට එරෙහි බරපතල දූෂණ වංචා චෝදනා, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ භාෂණයේ නිදහසට වැට බැඳීම දැඩි විවේචනයට ලක් කරමින් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිකුරාදා නිකුත් කළ එම නිවේදනයෙන් අනතුරුව මෙම තර්ජන එල්ල වෙමින් තිබෙන බැවින් ඒ පිටුපස ආණ්ඩුව සිටින බවට තමන්ට සාධාරණ සැකයක් පවතින බවත් නීතිඥ උපුල් ජයසූරිය සංදේශයට කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, BASL
රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය සීමා කරමින් පසුගියදා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය නිකුත් කළ නියෝගය දැඩි විවේචනයට ලක් කළ නීතිඥ සංගමයේ නිවේදනය, විශේෂයෙන්ම පොලිස් අත් අඩංගුවේදී තිස් තුන් දෙනකුට ආසන්න පිරිසක් මියයාම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම පිළිබඳව බලධාරීන් දැඩි විවේචනයට ලක් කොට තිබුණි.
එමෙන්ම අලුත්ගම සහ බේරුවල දරුණු ගැටුමක් හට ගනිද්දී පොලිසිය බලා සිටියා පමණක් නොව ඇතැම් පොලිස් නිලධාරීන් ගැටුම්වලට සම්බන්ධ වූ බවට සාක්ෂි ඇති බවත් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
'ආරක්ෂාව සහතික කරන්න'
ගැටුම්වලින් දින කිහිපයකට පසුව අලුත්ගම ප්‍රදේශයේ සංචාරයක යෙදුනු සභාපතිවරයා ඇතුළු නීතිඥ සංගමයේ දූත පිරිසක්, පොලිසියේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ අතර ගැටුම්වලදී මියගිය අයගේ සම්බන්ධ අධිකරණ පරීක්ෂණවලටද සංගමය සහභාගි විය.
අඟහරුවාදා අලුත්කඩේ අධිකරණයෙන් පිටත් වූ මොහොතේ පටන් පැය කිහිපයක් යනතුරු යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු තමන් ලුහුබැඳි බව පවසන නීතිඥ සංගම් සභාපතිවරයා, ඉන් අනතුරුව ත්‍රීවීලර් රථයක සිටි දෙදෙනකුද ඒ පිරිසට එක් වූ බවත් බීබීසී සංදේශයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Photo KS Udayakumar
අදාළ යතුරු පැදියේ සහ ත්‍රීවිලරයේ අංක සඳහන් කරමින් නීතිඥ උපුල් ජයසූරිය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් සිහිපත් කළ නීතිඥ සංගම් සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ පොලිසියේ බොහෝ අබිරහස් සහ අපරාධ විසඳීමේ හැකියාව තිබෙන දක්ෂ නිලධාරීන් සිටින බව අවධාරණය කළේය.
"නමුත් විසඳන්න බැරි අපරාධයන සිද්ද වෙන අවස්ථාවන්හිදී ඒ සෑම වෙලාවකම ඇඟිල්ල දිගු වන්නේ රජයට බව උන් වහන්සේ ප්‍රකාශ කළා," යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාරය පළ කරමින්.
"මටත් ඒ ප්‍රකාශයම අවධාරණය කරන්න සිද්ද වෙනවා."
නීතිඥ උපුල් ජයසූරියට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන නීතිවේදී එකමුතුව, එම තර්ජන පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ආරක්ෂාව සහතික කරන මෙන්ද නීතිවේදී එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.