‘දුම්වැටිය ඔබේ මාරයා’
දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීම අනිවාර්ය කරමින් සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි මාලාව ලබන දෙසැම්බර් මස තිස් එක් වෙනි දින තෙක් ක්‍රියාත්මක නො කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා බලධාරීන්ට නියෝග කර ඇත.
ඒ අතරම 2015 වසරේ ජනවාරි මස පළමු වෙනිදා සිට දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීම අනිවාර්ය කිරීමට අධිකරණය තීන්දු කල බවයි, දුම් කොළ සහ මද්‍යසාර පිළිබඳ තොරතුරු ආයතනයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර පවසන්නේ.
“අධිකරණ තීන්දුව පිළිබඳ ව අපි සතුටු වෙනවා. රූපමය අවවාද පළ කිරීම මේ මස පළමු වෙනි දින පටන් ක්‍රියාත්මක වීමට නියමිතවයි තිබුණේ. එහෙත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම කල් තබන මෙන් ඉල්ලමින් ලංකා දුම් කොළ සමාගම සහ දුම්වැටි බෙදා හරින්නන්ගේ සංගමය ඉදිරිපත් කර තිබුණ පෙත්සම් සලකා බැලූ අධිකරණය දුම් වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීම ලබන ජනවාරි මස පළමු වෙනි දින පටන් අනිවාර්ය කිරීමට නියෝග කළා’’ පුබුදු සුමනසේකර පවසයි.
දැනට භාවිතා කෙරෙන ඇසුරුම් වල අඩංගු දුම්වැටි ලබන වසරේ ජනවාරි මස 31වෙනි දින තෙක් පමණක් අලෙවි කළ හැකි බවත් අධිකරණය ප්‍රකාශ කොට ඇත.
රූපමය අවවාද
ලබන වසරේ ජනවාරි 31 වන දිනට පසුව පැරණි ඇසුරුම් සහිත දුම්වැටි අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයා රජයට උපදෙස් දී ඇත.
ඉහත කී අධිකරණ නියෝග නිකුත් කෙරුණේ ලංකා දුම් කොළ සමාගම සහ දුම්වැටි බෙදා හරින්නන්ගේ සංගමය ඉදිරිපත් කර තිබුණ පෙත්සම් විභාගය අවසන් කරමිනුයි.
දුම්වැටි ඇසුරුමක පිට පැත්තේ වර්ග ප්‍රමාණයෙන් සියයට 50% - 60% ත් අතර ඉඩකඩක දුම් පානයෙන් සිදු වන ආදීනව දැක්වෙන රූපමය අවවාද පළ කළ යුතු බව තීන්දු කරමින් අභියාචනාධිකරණය මින් පෙර නියෝගයක් නිකුත් කරනු ලැබයි තිබුණේ.
එම තීන්දුව අනුවයි සෞඛ්‍ය අමාත්‍යවරයා නව රෙගුලාසි නිකුත් කර තිබුණේ.
එකී නියෝග පිළිපැදීමට ලංකා දුම් කොළ සමාගම ද එකඟ වූ අතර ඊට එරෙහිව කිසිදු නීතිමය කටයුත්තක් නො කරන බවයි, සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණය හමුවේ කියා සිටියේ.