තහනම් උත්තේජක: 'වෛද්‍යවරුන්ටත් දඬුවම් කළ යුතුයි'
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කිරීම වැළැක්වීමට නම් ඔවුන්ට එම උත්තේජක ලබා දෙන වෛද්‍යවරුන්, පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා පියවර ගත යුතු බව විශ්ලේෂකයෝ පවසති.
ක්‍රීඩා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩක නුවන් හෙට්ටිආරච්චිගේ රුධිර සාම්පලවල තහනම් උත්තේජක හමු වුනු බවට ජගත් රග්බි පාලක මණ්ඩලය ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයට කළ දැනුම් දීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

ඡායාරූප මූලාශ්‍රය, Other
ජගත් පාලක මණ්ඩලය තමන්ට එවැනි දැනුම් දීමක් කළ බව තහවුරු කළ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න, නුවන් හෙට්ටිආරච්චි වැරදිකරු බව සනාථ කෙරෙන තුරු ඔහුට අවශ්‍ය සියලු උපකාර ලබා දීම සිය සංගමයේ වගකීම බව සංදේශයට පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කිරීම මුලින්ම ශ්‍රී ලංකාවේ වාර්තා වූයේ 1990 දශකයේදී බව පෙන්වා දෙන යෝගානන්ද විජේසුන්දර, වර්තමානයේ එය සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය පුරා බහුලව පැතිර පවතින්නක් බවද පවසයි.
එලියන්ත වයිට්
ඇතැම් ක්‍රීඩකයන්ට දඬුවම් කෙරුණත්, ක්‍රීඩකයන්ට එම උත්තේජක නිර්දේශ කරන වෛද්‍යවරුන්, පුහුණුකරුවන් හෝ ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි, ඔහු පවසන්නේ.
නුවන් හෙට්ටිආරච්චි එලියන්ත වයිට් ගෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බවද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිදු පිළිගත් සුදුසුකමක් නැති එලියන්ත වයිට් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය උපදේශකයා වශයෙන්ද ක්‍රියා කළ අතර, ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මීට ඉහතදී තරඟ තහනමකට ලක් වූයේත් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව බව ජනමාධ්‍ය චෝදනා කළේය.
මේ සියල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් නිසි පියවර නොගැනීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ තහනම් උත්තේජක පැතිර යාමට හේතුව බව යෝගානන්ද විජේසුන්දර අවධාරණය කරයි.
"වෛද්‍යවරයාගේ තරාතිරම හෝ ඔහුගේ තිබෙන ඉහල සම්බන්ධතා නෙවෙයි මෙතන වැදගත්. ඔහු විසින් අදාළ ක්‍රීඩකයන්ට හෝ අදාළ රටට දෙන අපකීර්තියට දඬුවමක් තිබිය යුතුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
"ඒත් එහෙම දඬුවම් කරන රටක් නෙවෙයි ලංකාව. දඬුවම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා."
තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනා එල්ල වූ සුසන්තිකා ජයසිංහ බේරා ගැනීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත තමන්ද මැදිහත් වූ බව පවසන ක්‍රීඩා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා, එහෙත් ක්‍රීඩකයන්ට දඬුවම් කිරීම හෝ චෝදනාවලින් ඔවුන් බේරා ගැනීම සම්බන්ධයෙන් පාලකයන්ට නිසි ප්‍රතිපත්තියක් නොමැති බවටද චෝදනා කළේය.