ඊලම ඉන්දියාවේත් තහනම් වචනයක් -කෙහෙළිය

ශ්‍රී ලංකාවේ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමට දෙමළ ජනතාව අතර ජනමතවිචාරණයක් ඉල්ලා සිටිමින් තමිල්නාඩු මහ ඇමතිනි ජෙයරාම් ජයලලිතා කළ යෝජනාව සදාචාර විරෝධී බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

'ඊලාම් රාජ්‍යය කියන දේ සරල භාෂාවෙන් කියනව නම් තහනම් වචනයක්'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඊලාම් රාජ්‍යය කියන දේ සරල භාෂාවෙන් කියනව නම් තහනම් වචනයක්'

ජයලලිතා මහ ඇමතිනියගේ මෙම යෝජනාව ඇතුළත් වන්නේ පසුගිය දා ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩිට භාර දුන් ලියවිල්ලකයි.

මේ තාක් ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවලදී ලංකාව බෙදා වෙන් කෙරෙන ඊලාම් සංකල්පය බැහැර කිරීමේ ප්‍රතිපත්තියක ඉන්දියාවද සිටි බවයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බීබීසීයේ තිසර රතුවිතානට කියා සිටියේ.

තහනම් වචනයක්

‘ඉන්දියාව සමඟ කළ සියලුම සාකච්ඡාවලදී බෙදා වෙන් වීම හෝ ඊලාම් රාජ්‍යය කියන දේ සරල භාෂාවෙන් කියනව නම් තහනම් වචනයක් හැටියටයි ඉන්දීය මධ්‍යම රජයත් පාවිච්චි කළේ. ජයලලිතා වැනි චරිත එවැනි සදාචාරාත්මක නොවන තැනකට යාම පුදුමයක් නොවෙයි.’ අමාත්‍ය කෙහෙළිය පැවසීය.

මහ ඇමතිනි ජයලලිතා නව අගමැතිවරයාට භාර දුන් පිටු හැට හතරේ ලියවිල්ල තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන සඳහන් කිරීමේදී ‘ජන සංහාරය’ යන වචනය භාවිත කිරීමද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සදාචාර විරෝධී බවයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.

සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.