හිජාබ් ඇඳුම තහනම් කළ විදුහල්පතිනියට නඩු
කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක විදුහල්පතිනිය විසින් හිජබ් ඇඳුමින් සැරසී පැමිණි මවකට ගුරු දෙගුරු රැස්වීම තහනම් කරනු ලැබීමේ සිද්ධියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
රාජගිරිය, ජනාධිපති විදුහලේ ඉගෙනීම ලබන මුස්ලිම් ජාතික ශිෂ්‍යාවකගේ මවක විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ල භාර ගත් අධිකරණය ඊට අදාළ ව ලබන 18 වන දා කරුණු දක්වන මෙන් අදාළ විදුහලේ විදුහල්පතිනි ඇතුළු වග උත්තර කරුවන්ට නියම කෙරිණ.
පෙත්සම්කාරිය පවසන්නේ පසුගිය දා අදාළ පාසලේ පැවති ගුරු දෙගුරු රැස්වීමකට හිජාබ් ඇඳුමෙන් සැරසී පාසලට ගිය අතර විදුහල්පතිවරියගේ නියෝගයක් මත තමන් පාසලට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණු බවයි.
එම පාසලේම හත් වන වසරේ ඉගෙනීම ලබන සිය දියණියට පාරම්පරික පන්ජාබ් ඇඳුම හැඳ පාසල් පැමිණීම මීට පෙර මෙම විදුහල්පතිවරිය තහනම් කළ අතර ඊට එරෙහිව තම දියණිය ඉදිරිපත් කළ පෙත්සමක්ද මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි පෙත්සම්කාරිය කියා සිටියේ.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීති වේදී එම්.එම් සුහයිර් සංදේශයට ප්‍රකාශ කළේ එවැනි තහනමක් පැනවීමට විදුහල්පතිවරයකුට බලයක් නොමැති බවත් මෙවැනි ක්‍රියා නිසා අපේ රටට ජාත්‍යන්තර වශයෙන් විශාල අගතියක් සිදු වෙන බවයි.
එම තත්වය වලකා ගැනීම පිණිස තමන් අධිකරණයේ සහය පතන බව නීතිවේදී එම්.එම්. සුහයිර් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මෙම චෝදනාව පිළිබඳව අදාළ විදුහලේ විදුහල්පතිනි නයනා ලක්ෂිතා පෙරේරා ගෙන් සංදේශය කළ විමසීමක දී ඇය කියා සිටියේ තමන් මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පෙත්සම්කාරිය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
නඩු විභාගයක් පැවැත්වෙන බැවින් තමන් වැඩිදුර අදහස් පළ නොකරන බව කී ඇය නඩුව අවසන් වීමෙන් පසුව සවිස්තර ප්‍රකාශයක් සිදු කරන බව කියා සිටියාය.