පාඩුවට හේතුව ඥාති සංග්‍රහය - එජාප

නිසි පෙර දැක්මක් නොමැතිවීම හෝ පළපුරුදු නැති පුද්ගලයින් ඉහළ තනතුරුවලට පත්වීම ශ්‍රී ලංකා ගුවන් සේවාව අවුරුදු ගණනාවක් තිස්සේ පාඩු ලැබීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

2012/2013 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි දෙදහස් දෙසිය පනහකට අධික පාඩුවක් ලබා ඇති බව එහි වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව වසරින් වසර වැඩිවීම විවේචනයට ලක් වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව වසරින් වසර වැඩිවීම විවේචනයට ලක් වී තිබේ

මෙය ගුවන් සමාගම ඊට පෙර වසරේ ලැබූ පාඩුව තවත් කෝටි පන්සියයකට වැඩි ප්‍රමාණයකින් හෙවත් සියයට තිහකින් ඉහල යාමක්.

ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ යුරෝපා ආර්ථික පසු බෑම මෙන්ම ගුවන් යානා ක්ෂේත්‍රය මුහුණ දෙන අවපාතය මෙම පාඩුවට හේතුව බවයි සමාගම පවසන්නේ.

එහෙත් සමාගමේ කළමනාකරණයේ අකාර්යක්ෂමතාවය, ඥාති සංග්‍රහය සහ නිසි පෙර දැක්මක් නොමැති වීම මේ පාඩුවට හේතුව බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සංදේශයට කියා සිටියේය.

මෙවැනි පොදු ආයතන ලබන පාඩුවේ බර ජනතාව මත පටවනු ලබමින් සිටින බව මන්ත්‍රීවරයාගේ චෝදනාවයි.

"ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගම, මිහින් එයාර් සමාගම මේවා මේ රාජපක්ෂවරුන්ගේ ඥාතියෝ සහ විශ්වාසවන්තයන් ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවල වාඩි වෙලා ඉන්න ආයතන," යනුවෙන්ද ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රතිචාරය ලබා ගැනීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.