පච්ච කෙටූ කාන්තාව පිටුවහල් කිරීම 'නීති විරෝධීයි'
බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි කාන්තාව රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදිහු පවසති.

කිසියම් තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ හැක්කේ රටේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කළේ නම් පමණක් බව පෙන්වා දෙන මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන්නේ විදේශ ඇමතිවරයාට පමණක් බව අවධාරණය කරයි.
නෙලුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් අත් අඩංගුවට ගත් පොලිසිය අධිකරණයට කියා සිටියේ, එය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවයි.
බ්‍රෙස්ගර්ඩ්ල් සිදුවීම
පොලිසියේ කරුණු දැක්වීමට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා ඇය පිටුවහල් කරන මෙන් නියෝග කළේ තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් පවා නොකර බව නයෝමි කෝල්මන් බීබීසීය සමඟ කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පිටුවහල් කිරීමේ නියෝගය පමණක් නොව ඇය අත් අඩංගුවට ගැනීම පවා නීති විරෝධී බව පවසන නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ, අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයට අවස්ථාව තිබෙන බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
"නීත්‍යානුකූලව ආගමන විගමන පණතේ කිසිම වගන්තියකින් මෙම හේතුව මත කිසිම කෙනෙක් පිටුවහල් කරන්න බෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
කිසිවකු එසේ නීති විරෝධී ලෙසින් අත් අඩංගුවට ගත් විට පොලිසියේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීම මහේස්ත්‍රාත්වරයාගේ යුතුකම බව ජ්‍යෙෂ්ඨ නීතිවේදියාගේ මතයයි.
කෙසේ නමුත් ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසීයට කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය යටතේ ආගමික හැඟීම්වලට රිදවීමේ චෝදනාව මත නයෝමි කෝල්මන් අත් අඩංගුවට ගත් බවයි.
"මේ නීතිය හදල තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින්," යනුවෙන්ද පොලිස් අධිකාරිවරයා පැවසීය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය ජාතික බ්‍රෙස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමට සැරසුණු අවස්ථාවේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය නීතිවිරෝධී බව බ්‍රිතාන්‍ය ජාතික විනිශ්චයකරුවන් විසින්ම තීන්දු කිරීම මෙවැනි සිදුවීම් පිලිබඳ හොඳම උදාහරණයක් බව පවසන නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නේත් එම නීතියම බවයි.