තේ අපනයන ආදායමේ 'වාර්තාගත ඉහල යාමක්'
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අපනයන පසුගිය වසරේ ඩොලර් කෝටි එකසිය පණහක් දක්වා වැඩි වී තිබේ.
එය ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ නව වාර්තාවක්.

විශේෂයෙන්ම ගතව ගිය වසරේ තේ මිල ඉහල තත්වයක පවත්වා ගැනීමට ලැබීම යහපත් ප්‍රවනතාවයක් බවයි, ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි බීබීසී සංදේශයට කියා සිටියේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහල දායකත්වයක් සපයන තේ කර්මාන්තයට අයත් ශ්‍රම බලය අඩු වීමට ප්‍රධාන හේතුව වතු කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප පහල මට්ටමක පැවතීම බවයි, වතුකරය නියෝජනය ආර් යෝගරාජන් මන්ත්‍රීවරයා පවසන්නේ.
ලොව වෙනත් රටවල් සමඟ සංසන්දනය කරන කරන විට ලංකාවේ වතුවල යටිතල පහසුකම් උසස් මට්ටමෙන් තිබෙන බව පවසන රොෂාන් රාජදුරෙයි, වතු කම්කරුවන්ට නිරන්තර වැටුප් වැඩිවීම් ලබා දී ඇති බවද පවසයි.
එහෙත් සිය දෛනික ජීවන තත්වය පිළිබඳව වතුකරයේ ජනතාව කලකිරීමට පත් වී සිටින බවයි, යෝගරාජන් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.