කොළඹ තැනින් තැන විපක්ෂයේ විරෝධතා

විපක්ෂයේ විරෝධයේ ඉල්ලීම් වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර,මතින් තොර, සැමට සහයෝගයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු 'විපක්ෂයේ විරෝධය කණ්ඩායම' සහ බහුජන සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතා පෙළපාළියක් සහ රැළියක් අඟහරුවාදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොළඹ කොටුව ප්‍රදේශයේ දී රජයට එරෙහිව විරෝධතාවක් පැවැත්විය.

විපක්ෂයේ විරෝධයේ ඉල්ලීම් වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, මතින් තොර, සැමට සහයෝගයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි.

රාජපක්ෂ ආණ්ඩුවේ නව අවුරදු පාලනය තුල ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා කියා සිටියේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වෙමින් පවතින බවයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු 'විපක්ෂයේ විරෝධය කණ්ඩායම' සමග එක්ව සිටි නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න, ආණ්ඩුව කැසිනෝ ක්‍රීඩාවට දිරි දෙමින් සංස්කෘතික විනාශයක් කරා රට ගෙන යමින් සිටින බවයි ප්‍රකාශ කළේ.

ජංගම කැමරාකරණ පොලිස් රථය

ඡායාරූප මූලාශ්‍රය, Dinidu Alwis

ඡායාරූප ශීර්ෂ වැකිය, ජංගම කැමරාකරණ පොලිස් රථය

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති ප්‍රහාරවලට වගකිව යුත්තන්ට දඩුවම් නො දීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලිප්ටන් වටරවුමේ සංවිධානය කළ ‘කළු ජනවාරිය’ විරෝධතාව ද අඟහරුවාදා පැවැත්වින.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම, 'සිරස' ආයතනයට ගිනි තැබීම ඇතුළු ශ්‍රිලංකාවේ මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් මුහුණදුන් හිංසාකාරී සිදුවීම් රැසක්ම ජනවාරි මාසයේදී සිදුවූ බව බී බී සී සංදේශයට අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේය.

විපක්ෂයේ විරෝධතාවල එක්වූ ජනතාව පොලිස් ජංගම කැමරාකරණ (CCTV) රථයකින් වීඩියෝ ගත කෙරුණු අතර, උසස් පොලිස් නිලධාරියෙක් බී බී සී සංදේශයට පැවසුවේ 200 කට අසන්න බුද්ධි අංශ නිලධාරීන් රැස්වීම් පවත්වන ස්ථාන අසල සේවයේ නිරතකොට සිටි බවයි.