කැස්බෑ මංකොල්ලයට එරෙහිව නව නීති - ඇමති

අපනයන වෙළඳාම මුවාවෙන් කැස්බෑවන් ඇතුළු ඉතා වටිනා ජෛව සහ ජාන සම්පත මංකොල්ලයට ලක් වන බව පවසන වන ජීවී සංරක්ෂණ අමාත්‍යවරයා, එයට වැට බැඳීම පිණිස අලුතින් නීති සම්පාදනය කරන බව ප්‍රකාශ කරයි.

අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඒ බව කියා සිටියේ, මීගමුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කැස්බෑ මාංශ වෙළඳ සලක් පොලිසිය විසින් වැටලීම සහ ඉතා දුර්ලභ ගණයේ සුදු කැස්බෑවකු අතුරුදහන් වීම ඇතුළු ශ්‍රී ලංකාවේ කැස්බෑවන්ගේ ඉරණම පිළිබඳව සංදේශය කළ විමසීමකදී.

ලොව සිටින විශේෂ කැස්බෑ වර්ග හතෙන් පහක්ම ලංකාවේත් දක්නට ලැබේ

ඡායාරූප මූලාශ්‍රය, SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව සිටින විශේෂ කැස්බෑ වර්ග හතෙන් පහක්ම ලංකාවේත් දක්නට ලැබේ

ලොව සිටින විශේෂ කැස්බෑ වර්ග හතෙන් පහක්ම ලංකාවේත් දක්නට ලැබෙන අතර, එම විශේෂ කැස්බෑ වර්ග රටේ නීතිය සහ ජාත්‍යන්තර සම්මුතිවලින් දැඩිව ආරක්ෂා කෙරේ.

එවැනි කැස්බෑවෙක් ළඟ තබා ගැනීම, විකිණීම, හානි කිරීම හා මසට මැරීම වැනි වැරදිවලට වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගැනීමේ බලය පොලිසියට හිමි වන නමුත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මේ සතුන් වඳව යාමේ අවදානමක් පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සංදේශයට කියා සිටියේය.

සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට අදාලව මේ සතුන් ආරක්ෂා කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් බවද පරිසරවේදීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා වෙරළ තීරය කැස්බෑවන්ට අහිමී වීම මේ ඉරණමට ප්‍රධානම හේතුව බවයි, විෂය භාර අමාත්‍ය විජිත් සොයිසා පවසන්නේ.

එහෙත් වෙරළාශ්‍රිත ඉදි කිරීම් හේතුවෙන් කැස්බෑවන්ට වෙරළ තීරය අහිමි වීම මෙන්ම නීති විරෝධී බිත්තර ලබා ගැනීම සහ කැස්බෑවන් මස් කොට විකිණීමත් දැනට ලංකාව මුහුණ පා සිටින ප්‍රධානම තර්ජන බව නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන රටේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වීමද කණගාටුදායක තත්වයක් බව ඔහු පැවසීය.