ආබාධිතයන් සම්බන්ධ සම්මුතිය 'නීතිගත කරන්න'
ශ්‍රී ලංකා ආණ්ඩුව ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබෙන නමුත් එය තවමත් නීතිගත කිරීමට ක්‍රියා කොට නැති බව ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.

එය නීතිගත කිරීමේ අවශ්‍යතාවය මීට ඉහත දී කිහිප වතාවක්ම ආණ්ඩුවට පෙන්වා දී තිබෙන බවද කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කරයි.
කොමසාරිස්වරයා ඒ බව කියා සිටියේ, බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියයට හතකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව පවසන කොමසාරිස්වරයා ඒ සියලු දෙනාගේ අවශ්‍යතා සපුරාලීම පිණිස පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
උතුරු නැගෙනහිර
"අපි මුලින්ම කියන දේ තමයි ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව මේ සම්මුතිය අපරානුමත කරන්න," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පසුගියදා පැවැත්වුණු සාකච්ඡාවකට මුලතිවු, කිලිනොච්චි ඇතුළු පලාත්වල සිට ප්‍රථම වතාවට ආබාධිතයන් පැමිණි බව පවසන කොමසාරිස්වරයා, සිවිල් සංවිධාන සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ද සමඟ එහිදී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළ බවද පැවසීය.
යුද්ධය හේතුවෙන් ආබාධිත වූ උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන ආබාධිතයන් පිළිබඳව සංගණනයක් පවත්වන මෙන් ඉන් අනතුරුව තමන් ආණ්ඩුවට උපදෙස් දුන් බවද ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.
අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුලත එක්සත් ජාතීන්ගේ සම්මුතිය නීතිගත කිරීමට පියවර ගන්නේ නම් එය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.