පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ලංකාව සුදුසු නැහැ - ටීඑන්ඒ
වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතැම් පොදු රාජ්‍ය මණ්ඩලීය පදනම් හා එකඟතාවයන් කඩ කොට තිබෙන බැවින් එම සමුළුව මෙරට පැවැත්වීම නුසුදුසු බව දෙමළ ජාතික සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවර සමුළුව වර්ජනය කිරීමට කැනඩාව ගෙන ඇති තීරණයට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කරන බවද එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.
කැනඩාව මෙම තීරණය ගෙන තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු කර දැක්වීම සඳහා බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.
ශ්‍රී ලංකා රජය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදනම් හා එකඟතාවයන් කඩ කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව ද සුමන්දිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව විසින් උල්ලංඝනය කළ මූලික මිනිස් අයිතිවාසිකම් මොනවාදැයි දිනසේන රතුගමගේ කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ආණ්ඩුව විසින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් ඉවත් කරනු ලැබුවේ සිදු කළේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් "ලැටිමර් හවුස්" ප්‍රතිපත්තියට අනුකූලව නොවීම එක් නිදසුනක් පමණක් බවයි.