
යුධ අපරාධ චෝදනා එල්ල වී තිබෙන ජනරාල් සිල්වාගේ නාම යෝජනාව දකුණු අප්‍රිකාව පිළිගත්තේ නම් එය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීතිවේදීහු පවසති
මානව හිමිකම් සංවිධානවල විරෝධය හමුවේ දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින් පත්කිරීමට යෝජනා වී සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නාම යෝජනාව ශ්‍රී ලංකාව විසින් ඉල්ලා අස්කර ගනු ලැබ ඇති බව නීතිඥ සංගමයක් පවසයි.
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නම නියෝජ්‍ය තානාපති තනතුර සඳහා යෝජනා වීමෙන් අනතුරුව, ඔහු දකුණු අප්‍රිකාවට පත්කිරීමෙන් වලකින මෙන් දකුණු අප්‍රිකානු ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇති බවයි, දකුණු අප්‍රිකා නීති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නිකොල් ෆිට්ස් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.
දැන් එම නාම යෝජනාව ඉල්ලා අස්කර ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙන නමුත් එය තහවුරු කිරීමේ හැකියාවක් තමන්ට නැති බවයි, ඇය පවසන්නේ.
යුධ අපරාධ චෝදනා
කෙසේ නමුත්, යුධ අපරාධ චෝදනා එල්ල වී තිබෙන ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නාම යෝජනාව දකුණු අප්‍රිකාව පිළිගත්තේ නම් එය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව තම ආයතනය ජනාධිපති කාර්යාලයට සහ ජාත්‍යන්තර සම්බන්ධතා අමාත්‍යංශයට දැනුම් දුන් බව ද දකුණු අප්‍රිකා නීති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා නිකොල් ෆිට්ස් පවසන්නීය.
මේ පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී දෙමළ සේවයට කියා සිටියේ, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින් පත්කොට යැවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වූ බවයි.
එය භාර ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අදාළ රටට අයිතියක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, කෙසේ නමුත් ශ්‍රී ලංකාව එම නාම යෝජනාව ඉල්ලා අස්කර ගත්තේද යන්න පිළිබඳව තමන් දැනුවත් නැති බව ද පැවසීය.












