
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් ඉන් ඉවත්ව යයි.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගොස් තිබේ.
තේරීම් කාරක සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සංදේශයට පැවසුවේ නොවැම්බර් 14 වැනිදා දෝශාභියෝග විභාගය ආරම්භවීමෙන් පසු අද වනතුරු අගවිනිසුරුවරියගේ පාර්ශවයට අදාළ ලියකියවිලි කිසිවක් භාර දී නොතිබිනු බවයි.
" සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම්"
අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස්
ලියකියවිලි පනහක් අද භාරදීමෙන් පසු ඒවා අධ්‍යනය කිරීම පිණිස සති පහක කාලයක් අවශ්‍ය බව ඇය කියා සිටි නමුත් ඒවා හෙට සිකුරාදා පස්වරු 1.30 ට විභාගයට ගන්නා බව සඳහන් කළ විට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බවත් එහි සාධාරණභාවයක් හෝ යුක්ති සහගතභාවයක් නොපෙනන බවත් පවසමින් අගවිනිසුරුවරියගේ පාර්ශවය ඉවත් ගියේ යැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.
තේරීම් කාරක සභාවේ සිටින ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් , අගවිනිසුරුවරියට සහ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අපහාස වන ආකාරයෙන් කථා කළ බවට ඔවුන් චෝදනාවක්ද ඉදිරිපත් කළ බව කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් තවදුරටත් තේරීම් කාරක සභාවේ රැදී සිටින්නේද නැද්ද යන්න හෙට දින තීරණය කරන බවයි පාර්ලිමේන්තු ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.
අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් පැවසුවේ සාධාරණ හා අපක්‍ෂපාතී විනිශ්චය සභාවක් හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට අගවිනිසුරුවරිය සූදානම් බවයි. වත්මන් තේරීම් කාරක සභාව පූර්ව විනිශ්චයකට පැමිණීමෙන් පසු යුක්තිය පසිඳලීමේ අරමුණකින් තොරව අසාධාරණ අන්දමින් ක්‍රියා කරන බවයි නීතිඥ කණ්ඩායමේ තවත් සාමාජිකයක් බී බී සී දෙමල සේවයට ප්‍රකාශ කර සිටියේ.
පක්‍ෂපාතී ආයතනයක් ඉදිරියේ කරුණු දැක්වීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස අගවිනිසුරුවරිය විශ්වාස කරන බවද නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය.
සාධාරණ විනිශ්චයකට තුඩු දෙන කරුණු ගණනාවක් ඉටු නොවීම හේතුවෙන් තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට ඇය තීරණය කළ බවත් අගවිනිසුරුවරියගේ නීතිඥ කණ්ඩායමේ, නීතිඥ සාලිය පීරිස් තවදුරටත් ප්‍රකාශ කළේය.












