
ජනාධිපතිවරයා ගේ පුතා සමාගමේ ප්‍රධානියෙක් වීම නිසා තමන්ට විශේෂ වරප්‍රසාද හිමිවන බවට එල්ලවන චෝදනාව සමාගම ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ බව සුප්‍රීම් සමාගම් සමූහය පවසයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් බීබීසී යට කියා සිටියේ 'ශී චැන්ග්' යානය යොදා ගනිමින් 'සුප්‍රීම් සැට් - 1' චන්ද්‍රිකාව චීනයේදී සුරක්ෂිතව කක්ෂගත කෙරුණු බවයි.
"එයා අපේ ටෙක්නිකල් ටීම් එකේ ප්‍රධාන ඉංජිනේරු හැටියට වැඩ කරනවා. එයා ඇත්ත වශයෙන්ම අපිට ඒ පැත්තෙන් නායකත්වයක් දුන්නා," බවයි ඔහු බීබීසී සංදේශයට කියා සිටියේ.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පුතා තම සමාගමේ ප්‍රධානියෙක් වීම නිසා සිය සමාගමට විශේෂ වරප්‍රසාද හිමිවන බවට එල්ලවන චෝදනාවද ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතික්ෂේප කළේය.
සුප්‍රීම් සැට් ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙසින් සමාගම හඳුන්වන නමුත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනූෂ පැල්පිට නිවේදනයක් කරමින් ප්‍රකාශ කොට තිබුනේ ශ්‍රී ලංකා ආණ්ඩුව එම ව්‍යාපෘතියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවලින් කිසිදු නය මුදලක් ලබාගෙන නොමැති බවද සමාගම පවසයි.
"අපේ සේවාව වෙන්නේ කෙලින්ම නිවසට සපයන රූපවාහිනී සේවා. ඒවා ඉතාමත් අඩු මුදලකට ශ්‍රී ලංකා සමාජයට දෙන්න පුළුවන් වේවි අපෙන් සේවය ලබා ගත්තොත්," බව විජිත් පීරිස් පැවසීය.












