
'ගෙදර බුදුන් අම්මා කියනවා. ඒත් කාන්තාවන් ආරක්ෂා කරන්න තියෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණත ඉවත් කර ගන්නවා'
පාසල් වියේ දැරියන්ගේ සිට වැඩි වියේ කාන්තාවන් දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රචණ්ඩ හිංසනයට මෙන්ම අනාරක්ෂිත භාවයකටද මුහුණ දෙන බව කාන්තා හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
මෙම තත්ත්වය පිළිබඳව සමාජයේ අවධානය පළ කරනු වස් කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියන් පිරිසක් අද කොළඹ අගනුවර පා ගමනක නිරතව සිටියහ.
"ඉස්කෝලේ යන දරුවට බස් එකේ යන්න බෑ. යන කොට කරදර කරනවා. වැඩ පොලේ ගියොත් පිරිමි ළමයි, ගෑනු ළමයි වැඩකරන්නේ එකට. ඒ වගේම තමයි ගෙදරදී - ගෙදර ගියොත් හස්බන්ඩ් බනිනවා, ගහනවා," බවයි, නුවර එළියේ සිට පැමිණ පා ගමනට එක්ව සිටි ලක්ෂ්මන් ශෂිකලා බීබීසී සංදේශයට කියා සිටියේ.
කාන්තා හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම් වස් එම උද්ඝෝෂණය ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූවක්.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි, උද්ඝෝෂණය අවසානයේ පැවති හමුවේ ප්‍රධාන දේශකයා ලෙසින් ආරාධනා ලැබ සිටියේ.
"ගෙදර බුදුන් අම්මා කියනවා. ඒත් කාන්තාවන් ආරක්ෂා කරන්න තියෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණත ඉවත් කර ගන්නවා," ඔහු පැවසීය.
විශේෂයෙන්ම වතුකරයේ කාන්තාව පුරුෂාධිපත්‍යයට යට වී විවිධ හිංසනයන්ට ගොදුරු වී සිටින බව නෝවුඩ් සිට පැමිණ සිටි වී මංජුලා සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග පැවසුවාය.
"වත්තේ වැඩ කරන කොට කන්කානි පිරිමි. වත්තේ වැඩ කරන ඔක්කොම කාන්තාවෝ. කාන්තාවෝ ඉදිරියට යනවට පිරිමි කැමති නෑ," බව ද ඇය සඳහන් කළාය.
කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් මැති ඇමතිවරුන් ද අනුගමණය කරන්නේ ඉතා උදාසීන පිළිවෙතක් බවයි, ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ වේලායුදම් ගේ අදහස වී තිබුනේ.












