
පලාලි ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙසින් නම් කරමින් ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැති බව පෙත්සම්කරුවෝ පවසති
පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුල යලි පදිංචි වීම සඳහා අවසර දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කොට තිබූ පෙත්සම් දෙකක් වසර දහයකට පසුව යලි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළ විය.
අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ලක් එම තීන්දුවට එළඹුණේ නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවයන් නොතකා හරිමින්.
අධි ආරක්‍ෂිත කලාපවලින් ඉවත්කළ ජනතාවගෙන් සියයට හතළිහක් දැනටමත් යලි පදිංචි කොට ඇති අතර නැවත පදිංචි කිරීම් දිගටම සිදුවන බැවින් පෙත්සම විභාගයට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවට නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නීතිඥවරයා තර්ක කළේය.
එහෙත් පලාලි ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙසින් නම් කරමින් කිසිදු ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැති බව පෙත්සම්කරුවන්ගේ නීතිවේදියා පෙන්වා දුන්නේය.
එම ප්‍රදේශවල පදිංචිව සිටි 30,000 කට අධික පිරිසක් තවමත් අවතැන්ව සිටින බවද පැවසූ ඔහු, මෙම "නීති විරෝධී" අධි ආරක්‍ෂිත කලාපය නිසා ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයේ නිරතව සිටි සියයට හැටක පිරිසකට සහ ධීවර කර්මාන්තයෙන් යැපුණු සියයට තිහැක පිරිසකට සිය ජීවනෝපාය අහිමිව අතරමංව සිටින බවද සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු මත බැලූ බැල්මටම මූලික හිමිකම් කඩවීමක් සිදුවී ඇති දක්නට ලැබෙන හෙයින් පෙත්සම් විශාග කිරීමට තීන්දු කළ අධිකරණය පෙත්සම් විභාගය ලබන මාර්තු මස 11 වෙනි දිනට කැඳවීමට තීන්දු කළේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහ තවත් ගොවීන් පිරිසක් විසිනුයි 2003 වසරේදී මෙම පෙත්සම් ගොනුකොට තිබුනේ.












