
'දැන් අය වැයෙන් පස්සේ මිලියන 160 ක තීරු බදු ඉවත් කරලා ලැම්බෝගීනිය ගේන්න පුළුවන් මිලියන 60 කට'
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෙල්ලක්කාරයන් සඳහා වූ සෙල්ලක්කාරයන්ගේ අය වැයක් බව විරුද්ධ පක්ෂ සන්ධානයක් පවසයි.
ලබන වසර සඳහා ඉදිරිපත් කොට තිබෙන අය වැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නැති බවත් විපක්ෂයේ විරෝධයට අයත් දේශපාලන පක්ෂ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
"ලැම්බෝගීනි රේස් කාර් කියන්නේ මම හිතන්නේ ලෝකේ වැඩිම මිලකට තියෙන රේස් කාර් එක. අය වැයට ඉස්සෙල්ල රුපියල් මිලියන 240 ක් ගෙවන්න වුනා. දැන් අය වැයෙන් පස්සේ මිලියන 160 ක තීරු බදු ඉවත් කරලා ලැම්බෝගීනිය ගේන්න පුළුවන් මිලියන 60 කට," බව මාධ්‍ය හමුව ඇමතූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
රේස් කාර්වලට බදු සහන
"ඔන්න ඔච්චරයි දීල තියෙන සහනය," ඔහු පැවසීය.
නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධානාගාරයේ හටගත් ගැටුමේදී සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීමට ද කළු ඇඳුමෙන් සැරසී සිටි විපක්ෂ සන්ධානයේ නායකයෝ සිය දැඩි විරෝධය පළ කළහ.
මේ අතර අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පළාත් සභාවල මූල්‍ය බලතල යලි මධ්‍යම ආණ්ඩුවට පැවරෙන දිවි නැගුම පණත සම්මත කරගැනීමට නොහැකිවීම නිසා දැන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට උත්සාහ දරන බවට ආණ්ඩුවට චෝදනා කළේය.
දුප්පත් ජනතාවගේ පීඩාව අමතක කොට, "මරණ සහතිකයෙන් පවා බදු අයකරන" අය වැයක් ලෙසිනුයි එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය එය හඳුන්වා දුන්නේ.












