ලිච්ඡවි රජ දරුවන් ඉන්දියාවේ විශාලා මහනුවර පාලනය කළ සමයේ මෙන් සාමයෙන් සහ සමාදානයෙන් සාකච්ඡා කොට රටේ ගැටළු විසඳා ගන්නා මෙන් රාමඤඤ නිකායේ මහනායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිති.
අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් එම ප්‍රකාශය කළේ මල්වතු, අස්ගිරි සහ අමරපුර මහා නායක හිමිවරුන් සමඟ එක්ව අධිකරණය සහ විධායකය අතර මතුවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පිළිබඳව බීබීසී සංදේශය කරුණු විමසූ අවස්ථාවේදී.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් අත්සන් තබා පසුගිය සතියේ කතානායක වරයාට භාරදෙන ලද දෝෂාභියෝගය සම්බන්ධයෙනුයි මහනායක හිමිවරුන් ජනාධිපති රාජපක්ෂ වෙත එම ලිපිය යොමුකොට තිබෙන්නේ.
"මහානායක හිමිවරුන් කියන්නේ අපේ ජනතාව පිළිබඳව ඔවුනොවුන් හා නොගැලපීම් එනවිට සමථයකට, සාමයකට, සාමදානයකට යොමු කිරීම මහා සංඝයා සතු කාර්යයක්," බව උන්වහන්සේ පැවසූහ.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත් අවස්තාවේත් මහනායක හිමිවරුන් මෙවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කළත්, ජනාධිපතිවරයා එම ඉල්ලීමට කන් නොදුන්නා නොවේදැයි පෙන්වා දුන් අවස්ථාවේ අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් පැවසුවේ ජනාධිපති රාජපක්ෂ මහ නාහිමියන්ගේ හඬට නිරන්තරයෙන් කන් දෙන බවයි.












