
රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තීන්දු දීම නිසා අගවිනිසුරුවරියට දෝෂාභියෝගයකට මුහුණදීමට සිදු වූ බව උද්ඝෝෂකයෝ පවසති
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකාවේ විධායකය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන බව පවසමින් නීතිවේදීන් සිය ගණනක් ඇතුළු දහසකට අධික පිරිසක් කොළඹ අගනුවර උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
ආණ්ඩුවේ නියමය මත සියයකට අධික ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහිව කතානායකවරයාට ඉදිරිපත් කරන ලද දොශාභියෝගයයට එරෙහිවයි ඔවුන් වීථි බැස සිටියේ.
කොළඹ ශ්‍රේෂ්ටාධිකරණ පරිශ්‍රය ඉදිරියෙන් ගමන් ආරම්භ කළ උද්ඝෝෂකයෝ ආණ්ඩුවේ පියවර දෝෂදර්ශනයට ලක් කරමින් නගර මධ්‍යය කරා ගමන් ගත් බව කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් වාර්තා කරයි.
විධායකය අධිකරණයට ඇඟිලි ගසන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව, මීට මාසයකට ඉහතදී අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ගල්කිස්සේදී ප්‍රහාරයක් එල්ල වූ අතර ප්‍රහාරකයන් වහාම අත් අඩංගුවට ගන්නා බවයි, ආණ්ඩුව එවකට කියා සිටියේ.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පා ගමනට එක්වී සිටි උද්ඝෝෂකයෝ ප්‍රහාරකයන් ආරක්ෂා කරන බවට ආණ්ඩුවට චෝදනා කළහ.
එහිදී ජනතාව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තීන්දු දීම නිසා අගවිනිසුරුවරියට දෝෂාභියෝගයකට මුහුණදීමට සිදු වූ බව පැවසීය.
ශ්‍රේෂ්ටාධිකරණයට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් බැවින් එය "රාජපක්ෂ පවුලට එරෙහි දෝෂාභියෝගයක්" බවට පත් කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.












