
යාපනයේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කොට ඇති නමුත් එම ඉඩම් තවමත් අයිතිකරුවන්ට ලබා දී නැති බව දමිළ ජාතික සන්ධානය පවසයි
උතුරේ ඇත්තේ බෙදා වෙන් කරන ලද රාජ්‍යයක් යැයි හැඟී යන පරිදි එහි පවතින්නේ දකුණේ මෙන් බහුතර සිවිල් පරිපාලනයක් නොවේ යැයි දමිළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව සඳහන් ලියවිල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙමින් රජය පවසා තිබුනේ උතුරේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව.
ශ්‍රී ලංකාවේ රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට දී තිබූ පිටු 26කින් සමන්විත රටේ මානව හිමිකම් රැකීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් පරිදි මේ වනවිට උතුරේ හමුදා භට පිරිස පහළොස් දහස දක්වා අඩුකොට ඇති අතර ඔවුන්ද නියැලෙන්නේ හුදෙක් ආරක්ෂක රාජකාරියේ පමණයි.
අධි ආරක්‍ෂිත කලාප
එහෙත් දමිළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී MK සිවාජිලිංගම් දිනසේන රතුගමගේට කියා සිටි පරිදි උතුරේ තවමත් තිබෙන්නේ හමුදා පාලනයක්.
"තවමත් පාස් ක්‍රමය තියනවා. හමුදාව ගිහිල්ල නෑ. මේක හරියට රට දෙකට බෙදල තියෙනව වගේ තමයි පෙන්නේ. දකුණු පලාතට එක නීතියක්, උතුරු පලාතට එක නීතියක් වගේ තමයි පෙන්නේ," ඔහු පැවසීය.
යාපනයේ තවමත් ක්‍රියාත්මක වන අධි ආරක්‍ෂිත කලාප පිළිබඳව අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා, උතුරු නැගෙනහිර පලාත්වල දිගටම හමුදා පාලනය තබා ගැනීමට දැරෙන ප්‍රයත්නය වැරදි ක්‍රියාවක් ලෙසිනුයි විග්‍රහ කළේ.
"පලාලි කඳවුර අවට විශාල ප්‍රදේශයක්, අක්කර දාස් ගානක් අධි ආරක්ෂක කලාප කියල තවමත් තියාගෙන ඉන්නවා. මේ හමුදාවට තියන බලය පෙන්නන්නයි, මිනිස්සුන්ට කරදර කරන්නයි නේ මේවා තියාගෙන ඉන්නේ," බව හිටපු මන්ත්‍රීවරයාගේ අදහසයි.
මේ අතර අදහස් දැක්වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා පවසන්නේ යාපනයේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කොට ඇති නමුත් එම ඉඩම් තවමත් අයිතිකරුවන්ට ලබා දී නැති බවයි.
එමෙන්ම ධීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තයට අදාළ නීති රීති දිනෙන් දින දැඩිවන නිසා යාපනය වැසියන් පීඩාවට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.












