
විදේශවල සිට ශ්‍රී ලංකාවට ළඟාවන ළමා අපචාරකයන් එක්වර හඳුනා ගැනීම ඉතා අසීරු බව ළමාරක්ෂක අධිකාරිය පවසයි
ළමුන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක කොටසක් වශයෙන් ලිංගික අපචාර කරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට පියවර ගනිමින් තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
එවැනි ලැයිස්තුවක් සකස් කරන තුරු, විශේෂයෙන්ම විදේශවල සිට ශ්‍රී ලංකාවට ළඟාවන ළමා අපචාරකයන් එක්වර හඳුනා ගැනීම ඉතා අසීරු බවයි, ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ.
සභාපතිනිය ඒ බව සඳහන් කළේ තවමත් පහලගම සෝමරතන නායක හිමියන්ගේ භාරයේ පවතින ගම්පහ ළමා නිවාසයක හිමිකාරත්වය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව සංදේශය කළ විමසීමකදී.
ළමා ලිංගික අපචාර චෝදනාවලට වැරදිකරු වූ සෝමරතන නායක හිමියන්ට පසුගියදා බ්‍රිතාන්‍ය අධිකරණයකින් වසර හතක සිර දඬුවමක් නියම විය.
ජාත්‍යන්තර පාසල්
කෙසේ නමුත් එහිමියන්ට දඬුවම් පනවනු ලැබුනේ බ්‍රිතාන්‍යයේදී බැවින්, ගම්පහ පිහිටි ළමා නිවාසයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් තමන්ට ගත හැකි පියවර සීමාසහිත බවයි, සභාපතිනිය පවසන්නේ.

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් සභාපතිනිය විසින් අධ්‍යාපන බලධාරීන්ට ලිපියක් යවා තිබේ
යහපත් අධ්‍යාපනයක් ලැබීම සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් බැවින් නිසි අධ්‍යාපනයක් නොමැති, නුපුහුණු ගුරුවරුන් ජාත්‍යන්තර පාසල්වල සේවය කිරීම වලක්වා, ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් තමන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බවද ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය පවසන්නීය.
"ඒ වගේම නොයෙකුත් අපයෝජන තියෙනව කියල තිබුන. අපයෝජන කිවුවම හැමෝම කතා කරන්නේ ලිංගික අපයෝජන විතරයි නමුත් මානසික අපයෝජනය, නොසලකා හැරීම, කායික අපයෝජනය ඒ සියල්ල අපයෝජනයේ කොටස්. ඒකෙ ලිංගික කියල වචනයක්වත් නෑ," ඇය පවසන්නීය.
මෙම සිදුවීම් පිළිබඳව සොයා බලා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය තමන් පෙන්වා දුන් බවයි, අනෝමා දිසානායක පවසන්නේ.
මේ අතර ගලෙන්බිඳුණු වැව පාසලක ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට අමානුෂික ලෙසින් පහරදීමේ සිදුවීමක් පිළිබඳව තමා නොදන්නා නමුත් ඒ පිළිබඳව සොයා බලා ඉදිරි පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.
ශිෂ්‍යයන් පිරිසට පහරදීමේ සිදුවීම පිළිබඳව අධ්‍යාපන බලධාරීන් හෝ පොලීසිය පියවර ගැනීමට අපොහොසත්වීම නිසා සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළ බවයි, පහරකෑමට ලක්වූ එක් සිසුවෙකුගේ පියා, සාජන් විමලරත්න බීබීසී සංදේශයට කියා සිටියේ.












