
ආණ්ඩුව මෙම එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යලිත් වරක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බවට ආචාර්යවරු අනතුරු අඟවති
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක මුදලක් වෙන්කරන මෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් වෙනත් මුදලක් ලබාදීමට රජය ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් සිය සංගමයේ මනාපයක් නැති මුත් අධ්‍යාපන ගැටළු පිළිබඳව අවධානය යොමුකිරීමට හැකිවීම තම අරගලයේ ජයග්‍රහණයක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) පවසයි.
සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඒ බව ප්‍රකාශ කළේ දින සියයක් මුළුල්ලේ දියත් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය නිමාකිරීමේ තීන්දුව දැනුම් දීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, විශ්ව විද්‍යාල පරිපාලනය නිර්දේශපාලනය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙනයි, ජුලි 04 වැනිදා සිට එම වැඩවර්ජනය දියත් වූයේ.
එම ඉල්ලීම්වලට ප්‍රතිචාරය පළ කළ ආණ්ඩුව, 2013 වසරේ සිට වසර පහක් ඇතුලත ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කිරීමටත්, අධ්‍යාපනය සඳහා දැනට වෙන්කෙරන දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.85 ප්‍රමාණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන අන්දමින් වැඩිකිරීමටත් ප්‍රතිඥා දී තිබිණ.
සරසවි පරිපාලනය නිර්දේශපාලනය කිරීමේ ඉල්ලීමටද ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව එකඟත්වය පළ කොට තිබේ.
ආණ්ඩුව ඉදිරිපත් කළ විසඳුම් සම්බන්ධයෙන් සම්මේලනය මුළුමනින්ම සතුටු නොවන්නේ වුවද ඇතිකරගත් එකඟතාවයන්ට රජය ගරු කරනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවයි, ආචාර්ය දේවසිරි මාධ්‍යවේදීන්ට කියා සිටියේ.
"මේ අරගලයේ ජයග්‍රහණය තමයි මේ ප්‍රශ්න ටික හරියට මතුවීම. ඔය ඔක්කොම ඩොලර් කතා, කුමන්ත්‍රණ කතා දැන් ඕව ටිකක් පැත්තකට ගිහින් දැන් ආපහු ප්‍රශ්නේ තියෙනවා අපි ඉස්සරහ," යන්න වැඩ වර්ජනය නිමා කළේ ඉල්ලීම් දිනාගෙන නොවේදැයි යනුවෙන් නැගුනු ප්‍රශ්නයකට ඔහු පළ කළ ප්‍රතිචාරයයි.
සම්මේලනයේ උප සභාපති ආචාර්ය දඹර අමිල හිමියෝ අදහස් දක්වමින්, ආණ්ඩුව මෙම එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යලිත් වරක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට තමන් පසුබට නොවන බව පැවසූහ.












