අයිසීසී විස්සයි විස්ස ලෝක කුසලානය අඟහරුවාදා රාත්‍රියේ උත්සවශ්‍රීයෙන් ආරම්භ වීමත් සමඟම කොළඹ අගනුවර දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබෙන අයුරු සමාරම්භක තරඟයෙන් අනතුරුව බදාදා උදෑසන කොළඹට ලඟා වූ මට දැක ගැනීමට හැකිවිය.
හම්බන්තොට සහ මහනුවර ක්‍රීඩාංගන අවටත් එවැනිම රැකවල් යොදා ඇති බවයි, වාර්තා වන්නේ.
සමාරම්භක තරඟයේදී විස්සයි විස්ස තරඟවල නව වාර්තාවක් බිහි කරමින් අජන්ත මෙන්ඩිස් පෑ දස්කම් සහ කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා පිති කරුවන්ගේ පිති හරඹය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මහත් ප්‍රමෝදයෙන් කථා බහ කරන අයුරු ගුවන් තොටුපොලේ සිටම අසන්නට ලැබුණි.
එම ජයග්‍රහණයත් සමඟම, සිම්බාබ්වේ කණ්ඩායම බොහෝ දුරට දෙවැනි වටයට සුදුසුකම් නොලබනු ඇති බැවින්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබන හැඩයක් පෙනී යයි.
බදාදා රාත්‍රියේ පැවැත්වෙන තරඟය සදහා ඛෙත්තාරාම පිටිය නවීන තාක්ෂනය යොදා විදුලි ආලෝකයෙන් වර්ණවත් කොට ඇති බැවින් දහවල සහ රාත්‍රිය අතර වෙනසක් ක්‍රීඩාංගනයේ නම් දකින්නට නැත.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව සහභාගි වන තරඟවල සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී තිබුනත්, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බදාදා පැවැත්වුණු අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය මෙන්ම ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරඟයත් නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණ සිටියේ අතලොස්සක් පමණි.
මේ අතර තමන් විසින් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ශ්‍රී ලංකා පොලීසියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ පිටකොටුවේ වෙළඳසල් කිහිපයක් වැටලූ බවත්, බොරලැස්ගමුවේ පිහිටි ව්‍යාජ නිල ඇඳුම් නිපදවන කම්හලක් වසා දමන ලද බවත් අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
මෙම වැටලීම්වලදී අයිසීසී යේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ජගත් කුසලානයේ ව්‍යාජ නිල ඇඳුම් නිපදවීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් සැකපිට කිහිපදෙනෙකුම අත් අඩංගුවට ගෙන ඇති බව ජගත් පාලක මණ්ඩලය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.













