
මුලතිවු දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1200 ක් ඇතුළු ඉඩම් අක්කර 3000 ට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මුල් අයිතිකරුවන්ට අහිමි වී තිබේ
උතුරේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ආරක්ෂක අංශ හෝ රජය විසින් බලහත්කාරයෙන් අත් පත් කරගෙන තිබේනම් ඒවා එහි අයිතිකරුවන්ටම යලි ලබා දෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අශෝක පීරිස් ඒ බව සඳහන් කළේ වවුනියාව දිසාපති කාර්යාලයේදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
"මුල් අයිතිකාරයෝ ආවොතින් ඒ මුල් අයිතිකාරයන්ට රජයේ ඉඩම් නම් ඒවාට පදිංචි වෙන්න අවස්ථාව ලබා දෙනවා," බවයි, අමාත්‍යංශ ලේකම්වරයා දිනසේන රතුගමගේට කියා සිටියේ.
උතුරු පළාතේ ඉඩම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටයි ඔහු වවුනියාවට පැමිණ සිටියේ.
මැණික් ෆාම් කඳවුර
කෙසේ වෙතත් සිය ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට වවුනියා වාසීන්ට අවස්ථාව නොලැබිණ.
එහෙත් ඉඩම් ප්‍රශ්න තිබෙන ප්‍රදේශවලට ගොස් එම ගැටළු විසඳීමට උත්සාහ කරන බවයි, අමාත්‍යංශයේ ලේකම් අශෝක පීරිස් පවසන්නේ.
"මැණික් ෆාර්ම්වල පවුල් 35 ක්, එතන හමුදාවෙන් ගොවිපොළක් පවත්වාගෙන යනවා. එක තාවකාලිකවයි අරන් තිබුනේ කෑම්ප් එක ඉවරවුනහම දෙන්නම් කියල. දැන් ඒ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළා. අපි එතෙන්ට යනවා ඒක ගිහින් විසඳන්න," ඔහු පැවසීය.
කෙසේ නමුත් කිසියම් ස්ථානයක දැනටමත් ස්ථිර නිවාස ඉදිකොට තිබෙන්නේ නම්, එවැනි අවස්ථාවල ඉඩම් හිමිකරුවන්ට වෙනත් ස්ථානවලින් ඉඩම් ලබාදීමට සිදුවනු ඇති බවද ලේකම්වරයා පිළිගත්තේය.
මුලතිවු දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1200 කට ආසන්න ප්‍රමාණයක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 700 ක් පමණ, මන්නාරමේ අක්කර 900 ක් පමණ සහ වවුනියාවේ අක්කර 200 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මුල් අයිතිකරුවන්ට අහිමි වී තිබේ.












