
චෙන්ගල්පට් සහ පූනමලී සිර කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙනකු වත් රඳවා සිටින බවයි, විශ්වාස කෙරෙන්නේ
තමිල්නාඩුවේ විශේෂ සිර කඳවුරක රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනකු අද නිදහස් කර යවන බව ඉන්දීය රජය දැනුම් දුන්නේය.
චෙන්ගල්පට් සහ පූනමලී යන සිර කඳවුරුවල රඳවා සිටින ලාංකිකයන් නිදහස් කර යවන ලෙස ඉල්ලා සෙන්තූරන් නම් සිරකරුවකු මීට දින විස්සකට පමණ ඉහත දී උපවාසයක් ද අරඹා තිබෙන අතරවාරයේ යි, ඉන්දීය ආණ්ඩුව එම නිවේදනය කළේ.
එම උපවාසයට සහාය දක්වමින් මරුමලච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් එම්ඩීඑම්කේ පක්ෂයේ මෙහෙයවීමෙන් ඊයේ සඳුදා උද්ඝෝෂණයක් ද දියත් විය.
චෙන්ගල්පට් සිර කඳවුරෙන් නිදහස් වී යන එක් ශ්‍රී ලාංකිකයකු අප හා පැවසුවේ ඉස්ලාම් ධර්මය උගැන්ම සඳහා ඒජන්ත වරයකුට මුදල් ගෙවා නුවර සිට තමිල් නාඩුව බලා ගිය තමන් වංචාවකට අසුවුණු බවයි.
'බොරු'
ඔහු අල්ලා දෙන බවට සහතික වෙමින් ඉන්දියාවේ Q අංශය නමින් යුත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියකු කැඳවා ගෙන ආ කඳවුරේ එකොලොස් මසක් සිර ගතව සිටීමට සිදුවූ බවයි ඩිස්කි මොහොමඩ් නිදහස් වී පිටව යමින් බීබීසී සංදේශයට කියා සිටියේ.
"ඒ නිලධාරීන් මට කිවුවේ ඔයාගේ ඒජන්ට් අපේ ළඟ අහුවුනා ඉතින් අපිට ඔයාගේ සාලි අරන් දෙන්න පුළුවන්. ඔයා දැන් අපිත් එක්ක එන්න කියල තමයි මාව එක්කගෙන ගියේ," ඔහු පැවසීය.
"මෙහෙ ආවම මෙහෙ කවුරුත් නැහැ. බොරු කියල තමයි මාව අරගෙන ආවේ," බව ද සිරගතව සිටි ඩිස්කි මොහොමඩ් සඳහන් කළේය.
එහෙත් රඳවාගෙන සිටි මාස එකොළහක කාලය තුල තමන්ට එරෙහිව අධිකරණයක දී කිසිදු චෝදනාවක් එල්ල නොකරන ලද බවයි, තමිල්නාඩු සිර කඳවුරෙන් නිදහස් වූ ඔහු පවසන්නේ.
චෙන්ගල්පට් සහ පූනමලී සිර කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙනකු වත් රඳවා සිටින බවයි, විශ්වාස කෙරෙන්නේ.












