විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව 'මිලිටරිකරණයේ නව අදියරක්'

Sri Lanka school children
ඡායාරූප ශීර්ෂ වැකිය, අණ පිළිපදින සමාජයක් හෝ අණ පිළිපදින ශිෂ්‍ය පරපුරක් ශ්‍රී ලංකාවට අනවශ්‍ය බව ගුරු සංගමය අවධාරණය කරයි

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරීන්ගෙන් තෝරාගත් පිරිසකට ශිෂ්‍ය භට පුහුණුව ලබාදීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ අලුත්ම පියවර බව ගුරු වෘත්තීය සමිතියක් පවසයි.

ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් ඇතුලත් වන අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරීන් පිරිසකට සතියක පුහුණුවකින් අනතුරුව ශිෂ්‍ය භට බලකායේ කර්නල් පදවිය ලබාදීම විශ්ව විද්‍යාලවලින් ආරම්භ වූ රටේ අධ්‍යාපනයද හමුදාකරණයට ලක්කිරීමේ අලුත්ම ක්‍රියාදාමය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සංදේශයට පැවසීය.

පාසල් සහ අධ්‍යාපන පද්ධතියේ විනය පිරිහී ඇතැයි පවසමින් පාසල්වල විනය සකස්කිරීම සඳහා විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදී ඔවුන්ට හමුදා නිළ ඇඳුම් ඇන්දවීම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම එරෙහිව යන්නක් බවද ජෝසෆ් ස්ටාලින් පවසයි.

දියුණු අධ්‍යාපන සංකල්ප

"අද ලෝකේ අධ්‍යාපන සංකල්ප පවා දියුණුවෙලා තියෙනවා විශේෂයෙන්ම බිත්ති රහිත පාසල්, පොත් නැති පාසල් වගේ දියුණු සංකල්පවලට ගමන් කරමින් තියෙන්න. ලෝකේ මෙහෙම තත්ත්වයක් තියෙද්දී අණ පිළිපැදීම කියන හමුදාවේ විනය අධ්‍යාපන පද්ධතියට ගෙන එක වැරදියි," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අණ පිළිපදින සමාජයක් හෝ අණ පිළිපදින ශිෂ්‍ය පරපුරක් ශ්‍රී ලංකාවට අනවශ්‍ය බව අවධාරණය කරන ජෝසෆ් ස්ටාලින්, එමගින් බිහිවන්නේ නිදහස් චින්තනය මොටවූ සමාජයක් බව අවධාරණය කරයි. "අධ්‍යාපනයේ මූලික සංකල්පවලට සම්පූර්ණයෙන්ම පටහැනියි මේ වගේ අණ පිළිපදින සමාජයක් බිහිකිරීම," ඔහු පැවසීය.

අධ්‍යාපන බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙන්නේ ගුරු සංගම් හෝ දෙමාපියන් සමග කිසිදු සංවාදයකින් පවා තොරව බවයි, ලංකා ගුරු සංගමය පවසන්නේ.