'ගබඩා පිරිලා. ඖෂධ හා ශල්‍ය උපකරණ අඩංගු කන්ටේනර් 41ක් දාන්න ඉඩ නැහැ'

රටේ ඖෂධ හිඟයක් පැවතිය ද ගබඩා පහසුකම් නොමැතිකම නිසා ඖෂධ හා ශල්‍ය උපකරණ අඩංගු කන්ටේනර් 41ක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී ප්‍රකාශ කළේය.

''කැලණිය ප්‍රදේශයේ තැන් තැන්වල මේ කන්ටේනර් තියලා තියෙනවා. දැනටත් ලංකාවේ ඖෂධ 235ක් විතර හිඟයි. නමුත් වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඉඩ නැහැ. ඔබ හිතන්න මේක කළමනාකරණ ප්‍රශනයක් නෙමෙයි ද ? වගකීම ඉටු නොකරන කෙනාට ගන්න පියවරක් නැහැ. නමුත් ඒවා ගැන කතා කරන අයගේ කටවල් වහන්න හදනවා'' යනුවෙන් ඔහු කියා සිටියේය.

ඖෂධ හිඟය, කළමනාකරණයේ ගැටලු, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වංචා ගැන මෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාගේ ලේකම්වරයාගේ හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග නොතකා ක්‍රියා කරන අතිරේක ලේකම්වරයෙකු ගැන ද රවී කුමුදේශ් සඳහන් කළේය.