ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක උරුම දඹුලු විහාරය: පුස් බැඳීමෙන් චිත්‍රවලට තර්ජනයක්ද?
චිත්‍රවල පුස් බැඳීමේ වේගය අවම කිරීම සඳහා ඉදිරියේදී දඹුල්ල විහාරස්ථානයේ ලෙන්වලට වරකට ඇතුලුවන පිරිස අවම කිරීමට සිදුවිය හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහු පැවසුවේ එය ගැනීමට නියමිත අවසන් පියවර වනු ඇති බවය.
ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කරනු ලැබ ඇති දඹුල්ල විහාරයේ චිත්‍රවල පුස් ඉවත් කර එවා ප්‍රතිසංස්කරණය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල මේවන විට කටයුතු කරගෙන යයි.
මේ යටතේ විහාරයේ සිතුවම් සියල්ලම ඩිජිටල් ක්‍රමයට වාර්තාගත කිරීම ද ආරම්භ කර තිබේ.
ශ්‍රී ලාංකික බෞද්ධ කලාවේ හා ප්‍රතිමා ශිල්පයේ මධ්‍යස්ථානය සේ සැලකෙන මෙම සංකීර්ණ ව්‍යුහය බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව අනුරෑ හා දේව රූප 160 කින් පිරී ඇත.
එහි වර්ග අඩි 20,000 ක් වසා බිතු සිතුවම් අඳිනු ලැබ ඇත. මහනුවර යුගයේ දියුණු වූ ඉතාමත් ලාලිත්‍යමය චිත්‍ර ශෛලියක් මෙම බිතු සිතුවම් වලින් පිළිබිඹු වේ.
දඹුල්ල විහාරස්ථානයේ චිත්‍ර සංරක්ෂණ කටයුතු සඳහා සහය වීමට යුනෙස්කෝ සංවිධානයේ ප්‍රවීණ සංරක්ෂණ විශේෂඥයෙකු නොදුරේදීම දිවයිනට පැමිණීමට නියමිතය.