දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය : 'IMF කොන්දේසියක් නැහැ. රජය තමයි පැනලා දීලා ඉල්ලන් කෑවේ.'

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයට අදාල ඡන්ද විමසීම අද (ජුලි 01) වැඩි ඡන්ද 60කින් සම්මත විය. එහි දී යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ද එරෙහිව ඡන්ද 60ක් ද ලැබුණි.

අද සම්මත වූ මෙම යෝජනාව ජූලි 04 වැනිදා රජය විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එවිට ඔවුන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා දින 21ක කාලයක් ලැබේ. මේ වැඩපිළිවලට එකඟ වෙනවා ද නැද්ද යන්න පිළිබඳ සේවක අර්ථසාධක අරමුදලේ තීන්දුව ජූලි 25 වැනිදා වනවිට ලබා දීමට නියමිතව තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට සුදානම් වන යෝජනාව සහ මුදල් කාරක සභාව අනුමත කළ යෝජනාව දෙකක් බව මුදල් කාරක සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදය ආරම්භයට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අනතුරුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් විපක්ෂයේ බාධා කිරීම් මැද සංශෝධිත යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

''මේ දේශීය ණය ප්‍රශස්තකරන වැඩසටහන අපිට සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රීවිව් එකට මුහුණ දෙන්න ඉතාම වැදගත් කාරණයක්. මෙය මත පදනම් වෙලා තමයි, අපි බලාපොරොත්තු වෙන ද්විපර්ෂික ණය හිමියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය සිදුවෙලා නැවත මේ රට තිරසාර රටක් බවට පත් වෙන්නේ'' යනුවෙන් විවාදයට එක වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ බංකොලොත් රජයන් පවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කොන්දේසියකින් තොරව IMF සහය ලබා ගෙන් ඇති අතර මෙය IMF කොන්දේසියක් නොව රජයේ උවමනාවට සිදු කරන දෙයක් බවයි.

''IMF එකට ගිය එක හරි. හැබැයි එළඹුණු ගිවිසුම වැරදියි. ගහපු ඩීල් එක වැරදියි. එතනයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන IMF එක කියලා නැහැ. IMF කොන්දේසියක් නැහැ. මේ රටේ රජය තමයි පැනලා දීලා ඉල්ලන් කෑවේ. අපි කියනවා අපේ රජයක් තුළ අපි කරන්නෙත් IMF එකට ගිහිල්ලා මේ කොන්දේසී ලිහිල්කරණය කිරීමේ ප්‍රයත්නයක නිරතවීම කියන එක.'' යනුවෙන් විපක්ෂ නායකයා සඳහන් කළේය.

පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු මේ පිළිබඳව අදහස් දැක්වූහ.